කොළඹ වරාය නගරය විරෝධතා මතු වන්නේ ඇයි?

ඇතැමුන් ඉන්දීය රාජ්‍යය හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ ලොකු අයියා ලෙසය. අයියලා කීව ද සැවොම එක වාගේ නැත. සිය නංගිලා මල්ලිලාගේ දියුණුව වෙනුවෙන් කැපවෙන පිය ගුණයෙන් යුතු සොහොයුරන් සේම, සිය බලය අයුතු ලෙස භාවිත කරමින් ඔවුන් සතු දේපළ ද තමන් සතු කර ගැනීමට මාන බලන චණ්ඩි අයියලා ද සමාජය තුළ වෙසෙති. අපගේ කුඩා දිවයින දෙස යෝධයකු සේ බලා සිටින ඉන්දියාව ද 80 දශකයේ සිට මේ දක්වා රඟපාමින් සිටින්නේ මේ චණ්ඩි අයියාගේ චරිතයය.

ඉන්දියාවේ චණ්ඩිකම්

ඉන්දියාවේ චණ්ඩිකම් ගැන කියන විට බොහෝ දෙනෙකුට සිහිපත් වනුයේ වඩමාරච්චි යුද මෙහෙයුම්වලට විරෝධයක් ලෙස ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කොට යාපනයට පරිප්පු හෙළීමේ සිද්ධිය විය හැකිය. එහෙත් ඔවුන්ගේ පළමු බලහත්කාරී ක්‍රියාව වූයේ අල, ලූනු, එළවළු, කිරි, භූමිතෙල් සහ ගිනිපෙට්ටි පුරවා ගත් බෝට්ටු 19 ක් තමිල්නාඩුවේ රාමේශ්වරන් ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට එවි මය. එහෙත් ශ්‍රී ලංකා නාවික හමුදාව එම බෝට්ටුවලට ශ්‍රී ලංකා මුහුදු සීමාව පසු කිරීමට අවස්ථාව ලබා නොදුන් අතර එය ඉන්දීය ආණ්ඩුව සලකන ලද්දේ ඔවුන්ට කළ මදි පුංචිකමක් ලෙසටය. 1987 ජුනි මස 04 වන දින ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානා 5 ක් මිග් ප්‍රහාරක යානා 4 ක ද ආධාරය ඇතිව ශ්‍රී ලංකා ගුවන් සීමාව උල්ලංඝනය කොට ඒවා තුළ තිබූ ආහාර මලු උතුරු ප්‍රදේශයට හෙලන ලද්දේ එහි දෙවන පියවර වශයෙනි. එතැනින් ද නොනැවතුණු ඔවුන් ඊළඟට කරන ලද්දේ ශ්‍රී ලංකා ආණ්ඩුව භීතියට පත් කොට 1987 ඉන්දු ලංකා ගිවිසුමට එළැඹීමය.

බොහෝ දෙනෙකු සිතන්නේ වඩමාරච්චි මෙහෙයුම් හමුවේ කොටි සංවිධානය ලබමින් සිටි අන්ත පරාජය ඉවසා දරා ගත නොහැකිව ඔවුන් හදා වඩා පෝෂණය කළ ඉන්දියාව විසින් මෙම අතපෙවීම සිදු කළ බවකි. එහෙත් ඉන්දිය සාගර කලාපය තුළ ඉන්දියානු රාජ්‍යයේ තනි ආධිපත්‍යය පවත්වාගෙන යෑමේ වුවමනාව මෙම අතපෙවීම පිටුපස පැවති බව එම යුගයේ පැවති ලෝක දේශපාලන පසුබිම විමසා බලන විට පෙනී යයි.

මැතිනියගේ පාලන සමය

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමය තුළ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පැවති සුහද මිත්‍රත්වය 1977 දී එක්සත් ජාතික පක්ෂ රජය බලයට පැමිණීමෙන් පසු සම්පූර්ණයෙන්ම කණපිට පෙරළුණි. අමෙරිකානු හිතවාදී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජේ, ආර්. ජයවර්ධන මැතිතුමා අමෙරිකානු එක්සත් ජනපදයට ඉන්දීය සාගරයේ බලය තහවුරු කර ගැනීමට හැකි වන පරිදි ගිවිසුම් කිහිපයකටම එළැඹුණි. ලෝක බලවතුන් වූ අමෙරිකාවත්, සෝවියට් රුසියාවත් අතර සීතල යුද්ධයක් පැවති එම යුගයේ ඉන්දියාව සිටියේ සමාජවාදී සෝවියට් දේශය පැත්තේය.

1980 වසරේදී අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි හාර්කෝ සමාගම ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි භාවිතයට ගෙන තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කරනු ලැබිණි. ඊට අදාළ තෙල් ටැංකි බදු දීමට ටෙන්ඩර් කැඳවීමෙන් පසු ඉන්දියානු සමාගම නොසලකා නියමිත දිනයටත් පසුව ටෙන්ඩරය ඉදිරිපත් කළ සිංගප්පුරුවේ ඕර්ලියම් සමාගමට අවස්ථාව සපයා දීම ඉන්දියානු ආණ්ඩුව සැලකුවේ ඔවුන්ට කළ සතුරු කමක් ලෙසටය. එසේම අමෙරිකානු හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය පුළුල් කිරීමේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ අක්කර 1000 ක් අමෙරිකා එක්සත් ජනපදයට ලබා දීමත්, එමඟින් මුහුදු පතුළේ සබ්මැරින් මෙහෙයවීමට සහ ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණයට ඔවුන්ට ඉඩ ප්‍රස්ථා සැලසීමත් ඉන්දියාව සැලකුවේ ඔවුන්ට ඇති සාගර ආධිපත්‍යට කරන තර්ජනයක් හැටියටය. ඒ අනුව පෙර කී ඉන්දු ලංකා ගිවිසුම බලයෙන් අස්සන් කරවා ගනිමින් ලංකාවේ කිසිදු වරායක් ඉන්දියාවේ ආරක්ෂාවට බලපෑමක් වන කිසිදු රටකට ලබා නොදීමටත්, ඉන්දු ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස තෙල් ටැංකි පරිශ්‍රයන් පවත්වාගෙන යෑමටත්, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ඔත්තු සපයන ගුවන් විදුලි සේවා නතර කිරීමටත් එම ගිවිසුමේ කොන්දේසි ඇතුළත් කරන ලදී.

ප්‍රතිමල්ලවයෙක්

අද වන විට ලෝක බලවතුන් සම්පූර්ණයෙන්ම විපරිනාමයකට භාජනය වී ඇත. 80 දශකය අගභාගයේදී සීතල යුද්ධය අවසන් කරමින් සෝවියට් දේශයේ බිඳ වැටීම සිදු වූ අතර ඒ හිඩැසින් ප්‍රයෝජන ගනිමින් ලෝකය පුරා සිය අඩු පාඩු විදා හළ අමෙරිකා එක්සත් ජනපදයට ප්‍රතිමල්ලවයකු ලෙස අද මතු වී සිටින්නේ තවත් සමාජවාදී රාජ්‍යයක් වන මහජන චීනයයි. එදා අමෙරිකාවේ සතුරකු වූ ඉන්දියාව අද අංශක 360 ක්ම අනෙක් පසට කැරකී චීනයට එරෙහි වොෂිංටනයේ ආක්‍රමණශීලි මිලිටරි මුලොපායික තරකිරීම්වල පෙරටුගාමී රාජ්‍යයක් ලෙස ක්‍රියා කරයි. ඒ අනුව වර්තමානයේ ඉන්දියාවට සේම අමෙරිකා එක්සත් ජනපදයට ද ලොකුම හිසරදයක් වී ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව චීනය සමඟ ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීමය. ඒ අතරින් ද ශ්‍රී ලංකා-චීන හවුල් ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන කොළඹ වරාය නගරය ගැන මේ රටවල් දෙකටම ඇත්තේ පරම පසමිතුරු භාවයකි. මේ නැඟී එන ලෝක බලවතා ඉන්දීය සාගර කලාපයට ප්‍රවේශ වීම තමන්ට තර්ජනයක් බව ඔවුහු ඉඳුරාම විශ්වාස කරති. අද වන විට රට අභ්‍යන්තරයෙන් ද ඉන් පරිබාහිරව ද මතු වී ඇති චීන විරෝධය සහ කොළඹ වරාය නගර විරෝධය අප වටහා ගත යුත්තේ මෙම පසුබිම තුළ සිටිමිනි.

ප්‍රකට ඉන්දීය මාධ්‍යවේදිනියක වන පල්කි ශර්මා වියෝන් රූපවාහිනිය ඔස්සේ A Chinese colony in India’s back yard නම් සිරස යටතේ වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ කොළඹ වරාය නගරයේ ස්ථාපිත වන චින සමාගම් හරහා ඉන්දියාවට බරපතළ ආරක්ෂක තර්ජනයක් එල්ල වීමේ ඉඩකඩ පවතින බවයි. මේ අතර ඉන්දීය අගමැතිවරයා විසින් භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවන බව කියා සිටියේත්, ඔවුන්ගේ දැඩි බලපෑම් මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මීට වසර 33 කට පෙර සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ගැන යළි සිහිපත් කළේත්, හුදෙක් ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීමේ අරමුණින් බව සීතීම අපහසුය. මේ හරහා නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට තර්ජනය කර සිටින්නේ වැඩිය දැඟලුව හොත් 87 දී මෙන් චන්ඩිකමක් කිරීමට ද තමන් පසුබට නොවන බවය.

බරපතළ තර්ජනය

මේ කරුණු කාරණා අනුව අපට පැහැදිලිව පෙනෙන්නේ වර්තමාන ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බරපතළම තර්ජනය එල්ල වී ඇත්තේ ඉන්දියාවෙන් බවයි. එහෙත් චීනය කෙරෙහි ශ්‍රී ලාංකිකයන් තුළ අප්‍රසාදයක් ඇති කිරීම සඳහා මතවාදී ප්‍රචාරයන් ගෙන යමින් සිටින බලවේග තහවුරු කිරීමට උත්සාහ දරන්නේ කොළඹ වරාය නගරය හේතුවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ පරමාධිපත්‍ය බලයට හානියක් සිදුවන බව කියමිනි. ශ්‍රී ලංකා වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වූ බවද, එය සලකා බැලූ ගරු විනිසුරුතුමන්ලා විසින් එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන අතරම එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගත හැකි වන පරිදි සංශෝධනයන් යෝජනා කළ බව ද, ඊට අවනත වූ කැබිනට් මණ්ඩලය එකී සංශෝධනයන් සිදු කොට සරල බහුතර කැමැත්තෙන් පනත සම්මත කර ගත් බව ද අප කවුරුත් දන්නා කාරණයකි. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට පෙත්සමට සම්බන්ධ වූ ඇතැම් පාර්ශ්වයන් ප්‍රශංසා කළේ ද ඒ හරහා කෙටුම්පතේ තිබු අහිතකර කොන්දේසි ඉවත් කර ගැනීමට හැකි වූ බව ප්‍රකාශ කරමිනි. වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විදේශිකයන් සිටිය හැකි බවටත්, එය ජනතා පරමාධිපත්‍ය බලයට තර්ජනයක් බවටත් ඇතැමුන් මත පළ කළ ද එහි සභාපති ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මැතිතුමා ඇතුළු සියලු සාමාජිකයන් ශ්‍රී ලාංකිකයන් බව ද දැන් අපි දනිමු. එසේනම් අලුත් වටයකින් කොළඹ වරාය නගරයට විරෝධතා මතු වන්නේ ඇයි දැයි විමසා බැලිය යුතුය. මෙම විරෝධතා පිටුපස හොල්මන් කරන්නේ ද අපේ ලොකු අයියා වන ඉන්දියාව විය නොහැකි ද යන්න ගැටලුවකි.

පුවත යවන්න