ගාසා තීරයේ තවදුරටත් ගැටුම් / පලස්තීනයේ එකම කොවිඩ් පර්යේෂණාගාරය විනාශයි

එක් රැයකින් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ගාසා තීරය හරහා සිවිල් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් වලට පහර දුන් බවට පලස්තීනය චෝදනා කරනවා.

නිල පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය වන ‘වෆා’ වාර්තා කරන්නේ, උතුරු අල්-නස්ර් දිස්ත්‍රික්කයේ පිහිටි ගාසා නගරයට බටහිරින් පිහිටි අල්-කතිබා පල්ලිය අසල සිවිල් ආයතනයක් සහ මාර්ග කිහිපයක් යුද ගුවන් යානා ඉලක්ක කර ඇති අතර අල්-ටුෆා සහ ෂුජියා දිස්ත්‍රික්කවලට ද පහර දුන් බවයි.

ඊශ්‍රායල ප්‍රහාරයන් ගාසා තීරයේ එකම කොවිඩ් -19 පරීක්ෂණාගාරය කඩා බිඳ දමා කටාරි රතු ක්‍රෙසන්ට් කාර්යාලයට හානි කළ බව ප්‍රංශ ප්‍රවත් සේවය වාර්තා කළා.

හමාස් උමං මාර්ග, සටන්කාමී අණ දෙන නිලධාරීන් සහ රොකට් දියත් කරන්නන් ඉලක්ක කරගත් බවයි ඊශ්‍රායලය පවසන්නේ.

මේ අතර ගැටුම්වලින් මිය ගිය පලස්තීනුවන් සංඛ්‍යාව 217 ක් බවට පත්ව තිබෙනවා.
අවතැන්වූ සංඛ්‍යාව 58,000 ක් බවයි නිවේදනය කර ඇත්තේ.

හමාස් ප්‍රහාරවලින් මිය ගිය ඊශ්‍රායල වැසියන් ගණන 12ක්.
මේ අතර දෙපාර්ශවය විසින්ම ජාත්‍යන්තරයේ ඉල්ලීම් නොතකා හරිමින් තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් පවතිනවා.

ප්‍රංශය අද දැඩිව අවධාරණය කළේ මෙම ගැටුම් වහා නතර කළ යුතු බවයි.
නැතහොත් ඉදිරිය වඩාත් ගැටළුකාරී විය හැකි බවද ප්‍රංශ රජය අවධාරණය කළා.

මේ අතර තම රට තුලට පහරදීම සඳහා නිර්මාණය කර තිබූ හමාස් සංවිධානයේ උමං මාර්ග පද්ධතිය වනසා දැමූ බවයි ඊශ්‍රායලය පවසන්නේ.
හදුනාගත් තවත් ඉලක්ක වෙනුවෙන් අද දිනයේ දීත් පහර දෙන බව ද ඊශ්‍රායල හමුදා අවධාරණය කළා.

පුවත යවන්න