ජනපති ධූරයට පස් දෙනෙක් සටනේ / අගමැති ධූරයට තුන් දෙනෙක්

නව ජනාධිපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ පස්කොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  හා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක  අතර මෙම සටන නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් ජනාධිපතිධුරයට පත්වීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු මැදිහත් වී සිටින අතර, ඔහුට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහාය දිනා ගැනීම සඳහා එම පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ ඇමතිවරුන් දෙදෙනකු මූලිකත්වය ගෙන සිටින බවද දැනගන්නට ඇත.

පොදුජන පෙරමුණේ ප්‍රබලයකු එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් දෙමින් ,රනිල් වික්‍රමසිංහ ට සහාය දෙන ලෙස,ඉල්ලීම් කරමින් සිටින බවද වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා පක්ෂයේ ප්‍රබලයන් දැඩි වෙහෙසක් දරමින් සිටින අතර,අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ද ඔහුට සහාය දීමේ සූදානමක සිටින බව දැනගන්නට ඇත.

මේ අතර,ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරයට පත්කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුම පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන අතර,හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ද ඩලස් අලහප්පෙරුමට සහාය දීමේ සූදානමක සිටින බව දැනගන්නට ඇත.

මේ තත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද පාර්ශ්ව තුනකට බෙදී ඇතැයි දැනගන්නට ඇත.

එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රනිල් වික්‍රමසිංහ ට ද ,තවත් කිහිප දෙනකු සජිත් ප්‍රේමදාසට ද ,තවත් කිහිප දෙනකු ඩලස් අලහප්පෙරුමට ද සහාය දීමේ පිළිවෙතක සිටින බව දැනගන්නට තිබේ .

මේ අතර, නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහාද,මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සිය සුදුසුකම් ඉදිරිපත් කරමින් සිටින බව දැනගන්නට ඇත.

සභානායක දිනේෂ් ගුණවර්ධන ,අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලී චම්පික රණවක අගමැතිධූරය අපේක්ෂාවෙන් සිටින බවද දැනගන්නට ඇත.

පුවත යවන්න