ජනාධිපති ලේකම් කාර්යාලය අවට ආරක්ෂාව තර කෙරේ

ජනාධිපති ලේකම් කාර්යාලය අවට ආරක්ෂාව තර කර ඇති බව ආරක්ෂක අංශ පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට අවසර හිමිවන්නේ අවසරලත් අයට පමණයි.ජනාධිපති ලේකම් කාර්යාලය තුළ හා පිවිසුම් මාර්ගයේ රැඳී සිටි අරගලකරුවන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. අනතුරුව එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයින්ට හැකිවුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ දේපලවලට සිදු වූ හානිය පිළිබඳ ස්ථානීය පරික්ෂණ ඊයේ ආරම්භ කළ අතර තවදුරටත් එම කටයුතු ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඊට අදාළ ඇගිලි සළකුණු වාර්තා ලබා ගනිමින් විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමට පියවර ගෙන  තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය අවට ප්‍රදේශයට පිවිසෙන මාර්ග සියල්ලක්ම පාහේ මාර්ග බාධක යොදා ආරක්ෂාව තරකර ඇති අයුරු දකින්නට ලැබුණා. පිටකොටුව සහ කොටුව ප්‍රදේශයේ ලෝටස් පාර හා බැංකු මාවත යන ප්‍රදේශ වසා දමා තිබෙනවා. එමෙන්ම කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් ඇතුළු වන බාලදක්ෂ මාවත වසා දමා ඇති අතර කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ගාලුමුවදොර හෝටලය අසලින් මාර්ගය වසා දමා තිබෙනවා. කෙසේ වෙතත් රජයේ හා පෞද්ගලික අංශ සේවකයන්ට එම මාර්ග ඔස්සේ සිය රාජකාරි ස්ථාන වෙත ගන් කිරීමට බාධාවක් නොමැති බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

මේ අතර ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් අරගලකරුවන් 9 දෙනා ඇප මත නිදහස් කෙරුණා. එක් අයෙකුට රුපියල් දස දහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප නියම කෙරුණා. කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා ඉදිරියේයි නඩුව කැදවූයේ. අදාළ සැකකරුවන් විමර්ශනවලට සහාය දිය යුතු බවත් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමෙන් වළකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබෙනවා. නඩුවට නීතිඥවරුන් 300 කට අධික පිරිසක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව සිටියා.

පුවත යවන්න