ශ්‍රී ලංකා රජය විසින් ඉස්ලාමීය මූලධර්මවාදී තාලිබාන් සංවිධානයේ ඇෆ්ගනිස්ථානයේ බලාධිකාරය පිළිගෙන ඇති අතර එම සංවිධානය විසින් එරට සිටින විදේශිකයින්ට දෙන ලද “පොදු සමාව” පිළිබඳව සතුට පළ කරමින් ශ්‍රී ලංකා රජය පැවසුවේ සාර්ක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, මේ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කලාපීය ප්රයත්නයකට සහාය වීම සඳහා සිය කාර්ය භාරය ඉටු කිරීමට සූදානමින් සිටින බවය.
“දැන් තාලිබාන් සංවිධානය බලයේ සිටින බැවින් නීතිය හා සාමය ස්ථාවර කරන ලෙසත් ඇෆ්ගනිස්ථානයේ සියලු ජනතාවගේ සුරක්ෂිතභාවය, ආරක්ෂාව සහ ගෞරවය ආරක්ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරයි,” යනුවෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.තාලිබාන් සංවිධානය පොදු සමාවක් ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා රජය සතුටින් සඳහන් කරන බව කියා සිටි විදේශ අමාත්‍යාංශය කිසිදු විදේශිකයෙකුට හානියක් නොකරන බවට දී ඇති පොරොන්දුව වෙනුවෙන් කැපවීමට “දිගටම ගෞරව කරන ලෙස” තාලිබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් නිවේදනය කළේය.
කෙසේවෙතත්, ඇෆ්ගනිස්ථානයේ නීත්‍යානූකූලව රැඳී සිටින විදේශිකයෙකුට තලේබාන් සංවිධානයෙන් සමාව ලබා දිය යුත්තේ ඇයිද යන්න පැහැදිලි නොමැති බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයින් බීබීසී සිංහල සේවය සමග පැවසීය.
අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව ඇෆ්ගනිස්ථාන මහකොමසාරිස් පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීන සිදුවීම් සැලකිල්ලට ගෙන, ශක්තිමත් ඇෆ්ගනිස්ථාන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට සහ වර්ධනය වන ද්විපාර්ශ්වික සබඳතාවලට අනුකූල ව ශ්‍රී ලංකාව ඔහුට සහ ඇෆ්ගනිස්ථානයට පූර්ණ සහයෝගය ලබා දීමට පොරොන්දු වූ බවය.
1996 සිට 2001 වසර අවසානය දක්වා ඇෆ්ගනිස්තානය පාලනය කළ කුප්‍රකට තාලිබාන් කණ්ඩායම 2001 මාර්තු මාසයේදී, 6 වෙනි සියවසට අයත් බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළහ.ඉස්ලාමීය අන්තවාදීන් විසින් එම බුදු පිළිම සුණුවිසුණු කිරීම මානව වර්ගයාට එරෙහිව කළ අපරාධයක් ලෙස සලකා විශ්වීය හෙළා දැකීමකට ලක් විය.
තාලිබාන් ව්‍යාපාරය තැනීමට පාකිස්තානය මුල්වූ බවට නැගෙන චෝදනා එරට දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය. නමුත් තවමත් එය සැක සහිත වන්නේ, තාලිබාන් ව්‍යාපාරයට මුලින්ම එක්වූ සාමාජිකයන්ගෙන් බොහෝ දෙනෙකු පකිස්තානයේ මද්රසා ආගමික පාසල්වල අධ්‍යාපනය ලැබූ ඇෆ්ගන් ජාතිකයන් වීම නිසාය.
තාලිබාන්වරු බලයේ සිටියදී එම පාලනය පිළිගත් රටවල් තුන අතර පකිස්තානය ද සිටීම තවත් විශේෂත්වයකි. අනෙක් රටවල් දෙක වූයේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.
එමෙන්ම, තාලිබාන්වරු සමඟ පැවතුණු රාජ්‍යතාන්ත්‍රික සබඳතා අතහැර දැමීම සඳහා තීරණය කළ අවසාන රට වූයේ ද පාකිස්තානයයි.
පාකිස්තානය අස්ථාවර කරන බවට තාලිබාන්වරු වරෙක තර්ජනය කළහ. තාලිබාන්වරුන් විසින් පාකිස්තානයේ දියත් කරනු ලැබූ ප්‍රහාර අතරින් ජාත්‍යන්තර හෙළාදැකීමට වැඩි වශයෙන් ම භාජනය වූයේ මලාලා යුසෆ්සායි පාසල් ශිෂ්‍යාවගේ හිසට වෙඩි තැබීමය. මෙය සිදු වූයේ 2012 ඔක්තෝබරයේ දීය.
තාලිබාන් සංවිධානය විසින් ඔවුන් බලයේ සිටි සමයේදී ගුරුවරුන් ලෙස කටයුතු කළ කාන්තාවන්ට ප්‍රසිද්ධියේ කස පහර දී ඇති අතර අපරාධකරුවන් යැයි හදුන්වනු ලැබූ අයගේ හිස ගසා දැමූහ. ගැහැණු ළමයින්ට පාසැල් යාම තහනම් විය. සංගීතයට සවන් දෙන ඕනෑම කෙනෙකුගේ කන් කපා දැමීය.
“ඉස්ලාමීය සම්ප්රදාය අනුගමනය කරමින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට වැඩ කළ හැකි අතර ගැහැණු ළමයින්ට පාසල් යා හැකි බවට තාලිබාන් සංවිධානය විසින් ලබා දුන් පොරොන්දු පිළිබඳව ශ්‍රී ලංකා රජය ද සතුටු වන බව සිය නිවේදනයේ සඳහන් කරමින් තාලිබාන් සංවිධානය ලබාදුන් පොරොන්දු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය විසින් සාදරයෙන් පිළිගනු ලැබ ඇත.කෙසේ වෙතත්, තාලිබාන් සංවිධානය තම ඉස්ලාමීය “සම්ප්රදාය” කුමන ආකාරයෙන් අනුගමනය කරන්නේද යන්න තවමත් පැහැදිලි කර නොමැති බවත්, පසුගිය සතියේදී කණ්ඩායමේ නායකයින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා සිටියේ තම දියණියන්ට පාසල් යාමට ඉඩ නොදෙන බවයි යනුවෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයෝ පැවසූහ.
චීනය, ඉරානය සහ රුසියාවේ ස්ථාවරය
ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් පාලනය මෙතෙක් කිසිඳු රටක් නිල වශයෙන් පිළිගෙන නොමැති අතර චීනය, ඉරානය සහ රුසියාව මෙම මූලධර්මවාදීන්ට අනුබල දෙන ප්‍රකාශ සිදුකර ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත කන්දඋඩහේවා බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්ථානය සමග එතරම් ශක්තිමත් රාජතාන්ත්‍රික සබඳතා නොමැති තත්වයක් තුළ හා ශ්‍රී ලංකාව මේ වන විට චීන බලකනුවේ කොටසක් ලෙස වක්‍රලෙස තාලිබාන් පාලනය පිළිගැනීම ශ්‍රී ලංකාවට අවාසි සහගත බවය.
“චීනය රුසියාව හැර අන් කිසි රටක් තාලිබාන් පාලනය පිළිගෙන නෑ. ශ්‍රී ලංකාව මෙය වක්‍රව හරි පිළිගැනීමේ වාසිය යන්නේ චීනයට තමයි. චීනයට මධ්‍යම ආසියානු කලාපයේ තමන්ගේ බලය තහවුරුකරගන්න පුලුවන් වෙනවා මේ හරහා.”
ඔහු තවදුරත් පැවසුවේ මූලධර්මවාදී සංවිධානයක් ආසියානු කලාපයේ තම බලය තහවුරු කිරීමේ තර්ජනය පාකිස්ථානයට, ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට වඩාත්ම වැඩියෙන් බලපාන බවය.
“රජය වක්‍රව හෝ එම සංවිධානයේ බලය පිළිගැනීම තුළ රට තුළ පැනනගින මූලධර්මවාදීන්ට විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඇතිවෙමින් පවතින, උත්තේජනයක් වෙන්න පුළුවන්.”
මේ අතර විදේශ අමාත්‍යංශය පැවසූවේ “සමස්ත දකුණු ආසියානු කලාපයම අස්ථාවර කිරීමේ බලපෑමක් ඇති කළ හැකි මහා ජන සංක්‍රමණ, අන්තවාදී ආගමික කොටස් විසින් එහි ආරක්ෂිත ස්ථානයක් සාදා ගැනීමට උත්සාහ දැරීම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම වැඩිදියුණු වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානයෙන් පසුවෙයි. රජය මෙම තත්ත්වය දෛනිකව හොඳින් නිරීක්ෂණය කරමින් සිටී.” යනුවෙනි.
2001 සැප්තැම්බර් 11 ඇමරිකාවේ නිව් යෝර්ක් සහ වොෂිංටනයට එල්ල වූ ප්‍රහාරයේ මහ මොළකරු වූ ඔසාමා බින් ලාඩන්ට රැකවරණය දුන් බවට චෝදනා එල්ල වීමෙන් පසු 2001 දී එක්සත් ජනපදය විසින් මිලිටරිමය වශයෙන් ඇෆ්ගනිස්තානයෙන් තාලිබාන් සංවිධානය පලවා හැරීමත් සමඟ පළමු තලේබාන් පාලනය අවසන් විය.
කෙසේ වෙතත්, අගෝස්තු 31 වන විට අවසන් කිරීමට නියමිතව තිබූ එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් කටාර්හි තාලිබාන් නියෝජිතයින් සමඟ ඇමෙරිකාව වසර දෙකකට වැඩි කාලයක් සාකච්ඡා කර තිබිණ.
එහෙත් තාලිබාන් සංවිධානය පසුගිය සතියේ ඇෆ්ගනිස්ථානයේ අගනුවර වූ කාබුල් වෙත ඉතා ඉක්මණින් ළඟාවී බලය අල්ලා ගත්තේ එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්ථානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට සූදානම්ව සිටිදීය. – BBC Sinhala