තවත් ග්‍රාම සේවා වසමක් හුදකලා කෙරේ

කළුතර දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම සේවා වසම අද සවස 6.00 සිට හුදකලා කිරිමට තීරණය කර තිබේ.

පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ‍ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අලුත් අවුරුදු උත්සව සමයේ අදාළ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් පිරිසක් කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව පුද්ගලයින් 99 දෙනෙකු සඳහා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ මගින් ඉන් 63 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු මහතා පැවසුවේය.

එම ආසාදිතයින් අතර පාසල් වෑන් රථ රියදුරෙකු සහ එහි සහයිකාව ද වන අතර වෑන් රථයේ ගමන් කළ දරුවන් නිරෝධායනයට සහ පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

පුවත යවන්න