තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බව තහවුරු වෙයි /අපරාධකරුවන් අල්ලන්න නියෝග

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ සැබෑ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කළා.

ඒ සිද්ධියට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදීයි.

අතිරේක මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, එම මරණය සිදුවී ඇත්තේ මාරක රිය අනතුරකින් නොව මිනීමැරුමකින් බවට තම අධිකරණය විසින් මේ වන විටත් නිගමනය කර ඇති බවයි.

මෙම ඝාතනයේ සැබෑ සැකකරුවන් කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටි අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ, 2012 වසරේදී සිදු වූ එම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට 1200 කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

එසේම දුරකථන ඇමතුම් ලක්ෂ 22ක් පරීක්ෂාවකට ලක් කර ඇතැයිද අධිකරණයට දැනුම්දී තිඛෙනවා.

ඝාතනය සිදු වූ දින වසීම් තජුඩීන් මහතා පසුපසින් හැව්ලොක් පාරේ සිට හඹා ගිය බවට සැලකෙන වාහනයේ ගමන් කළ පුද්ගලයෙකු ඇඳ සිටි ටීෂර්ට් එකේ අංකයක් සහ නමක් සටහන් වී ඇති බැවින් සී.සී.ටී.වී. වාර්තා අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.

නාසා ආයතනය මගින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගෙන එම ඝාතනය සිදු වූ දින අදාළ වේලාව තුළ ඝාතනය සිදු වු ප්‍රදේශයෙන් ගමන් කළ වාහන හා පුද්ගලයින් සම්බන්ධයෙන් පිළිබදව විමර්ෂණ ක්‍රියාත්මක බවද සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියා.