තැපැල් ඡන්ද අයැදුම්පත් 36,000ක් ප්‍රතික්ෂේප වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව ලැබුණු තැපැල් ඡන්ද අයැදුම්පත් අතරින් 36,000 ක් ප්‍රතික්ෂේපවී ඇත.

අයැදුම්පත් සම්පූර්ණ කිරීමේදී පැවැති අඩුපාඩු හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප කර තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීම සඳහා ලැබුණු අයැදුම්පත් අතරින් 676,873 ක් පිළිගත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩිම පිරිසක් සුදුසුකම් ලබා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයටය. එම සංඛ්‍යාව 75,579 කි. මීට අමතරව, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 55,750 ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 54,012 ක්ද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අඩුම පිරිසක් සිටින්නේ මුලතිව් දිස්ත්‍රික්කයේය. එම සංඛ්‍යාව 3,187 කි.

ඉකුත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රතික්ෂේප වූ තැපැල් ඡන්ද අයැදුම්පත් සංඛ්‍යාව 47,430 කි. එම මැතිවරණයේදී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අයැදුම්පත් 753,037 ක් ලැබී තිබූ අතර, පිළිගත් අයැදුම්පත් සංඛ්‍යාව 705,085 කි.

පුවත යවන්න