පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ තනතුරු වලට දේශපාලන හිතවාදීන් පත් කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් කරමින් සුදුසු නායකත්වයක් ඊට ලබාදීමට කටයුතු කළ බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සහ එක්සත් ජාතීන්ගේ අරමුදල සමඟ එක්ව උතුරු මැද පළාතේ මහජන නියෝජිතයින් සඳහා පුහුණු වැඩමුළුවක් 2021/12/04 දින කුකුලේ ගඟ ලයා ලෙසර් හිදී පැවති අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
අද ඔබ දන්නවා මා ගාවට ප්‍රශ්ණයක් අරගෙන ආවොත් මොන විදිහකින් හරි එම ප්‍රශ්ණය විසඳන බව. වැඩ කරන කාලයෙන් නෙමේ වැඩ කරා කියන්නේ. වැඩය කියන්නේ වැඩ කරන්න තිබෙන කාලය තුළ තිබෙන ප්‍රශ්ණ ටික විසඳලා දෙන එකයි. සමහර රාජ්‍ය නිළධාරීන්ගේ මානසික ලෙඩක් තියෙනවා වැඩය කර ගන්න එන කෙනාව කීප වරක් ගෙන්න ගැනීම, පීඩාවට පත්කිරීම හා රස්තියාදු කිරීමට. එහෙම නැතුව අපි එක පාරම එම ප්‍රශ්ණය විසඳිය යුතුයි.
පසු ගිය පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී පළාත් පාලනය පිළිබඳ තිබෙන අඩු පාඩු කතා කලා. මෙතෙක් කල් උපදේශන සභාවට ප්‍රධාන ලේකම් හා කොමසාරිස් ඇවිල්ල නැහැ. ඒක ලොකු අඩුපාඩුවක්. එතන තමා මධ්‍යම රජයයි, පළාත් සභාවයි, පලාත් පාලනයයි මුණ ගැසෙන්නේ. එම නිසා අපි තීන්දුවක් ගත්තා ඊලඟ උපදේශන කාරක සභාවේ සිට ප්‍රධාන ලේකම්වරු හා පළාත් පාලන කොමසාරිස්වරු කැඳවීමට. මම දකින්නේ ආණ්ඩුකාරවරු සහ ප්‍රධාන මහ ඇමතිවරුන් මෙම අවස්ථාවට කැඳවිය යුතුයි කියලා. ඒ අපි ගන්නා ලද මෙතෙක් කල් නොගන්නා ලද තවත් වැදගත් තීන්දුවක්.
අපේ ඉල්ලීම පරිදී කොට්ඨාශ 4917 ට සංවර්ධන නිළධාරීන් බඳවා ගත්තා. එම නිසා ඔබේ කොට්ඨාශයෙහිම සංවර්ධන ගැටලු හා ප්‍රශ්ණ විසඳීම වෙනුවෙන්ම සංවර්ධන නිළධාරි මහතෙකු හෝ මහත්මියෙකු ඉන්නවා. එසේම, අපි ඉදිරියෙදී තාක්ෂණ නිළධාරීන් පළාත් සභා මට්ටමින් බඳවා ගැනීම සඳහා මැදිහත් වීමට බලාපොරොත්තු වෙනවා. එම නිසා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපි නියෝජනය කරන මහ ආණ්ඩුව සමඟ මැද ආණ්ඩුව හා ඔබ නියෝජනය කරන පුංචි ආණ්ඩුවයි එකතු වෙලා ඇතිවන ප්‍රශ්ණ විසඳගෙන හොඳ ගමනක් මහ ජනතාව වෙනුවෙන් යාම සඳහා ක්‍රියා කිරීමට.
ඒවගේම, උතුරු මැද පළාතේ වැඩ වල ප්‍රමාදයන් තිබෙනවා කියලා මට පේනවා. මමත් නියෝජනය කරන්නේ මේ පළාත තමා. ඒ නිසා ඉදිරියේදී යම් වැඩපිළිවෙළවල් යොදලා ඉදිරියට ගැනීමට බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන පනත පිළිබඳවත් මගේ අවධානය යොමු වෙලා තිබෙනවා. සමහර රටවල බදු අයකිරීමේ ක්‍රමය ඉතාමත් පැහැදිලි මෙන්ම අය කරන බදු ප්‍රමාණයද අඩුයි. ඒ නිසා අපි මේ වගේ දේවල් අපේ රටට යොදා ගැනීමට අවධානය යොමු කර යුතුයි.
පළාත් පාලන ආයතන ඩිජිටල් කරණය පිළිබඳ සාකච්ඡා කිහිපයක් ජනාධිපතිතුමන්, බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ මැතිතුමන් සමඟ පැවැත්තුවා. ලබන වසරේ මුල වනවිට අඩු තරමින් පළාත් පාලන ආයතන 100 ක් ඩිජිටල් කරණයට බලාපොරොත්තු වෙනවා. මේ නිසා පළාත් පාලන ආයතන පිළිබඳව මහජනතාව විසින් යොමු කරන චෝදනා අඩු වෙනවා. ඒ නිසා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලනවා අපිට ඡන්දය ලබා දුන් ඡන්ද දායකයා ආරක්ෂා කර ගැනීමට වගේම ඔවුන්ට අපි ආදර්ශයක් වන විදිහට වැඩ කටයුතු සිදු කරන්න කියා.
බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දුන්නා හරිත නගර සංකල්පයට අනුව පුර නැගුම 05 සඳහා අලුත් ක්‍රමයට කුඩා නගර සාදන්න ව්‍යාපෘතියක් ගෙන එන්න කියලා. මේ ක්‍රමය නිසා ජනතාවගේ ආර්ථිකය ඉහළට යනවා මෙන්ම සභාවටත් මුදල් ලැබෙනවා. පළාත් පාලන ආයතන වල පෞද්ගලික අංශයත් සමඟ එකතු වෙලා යන කර්මාන්ත ඇති කිරීම ඉතා වැදගත්. ඒ සඳහා ප්‍රතිපාදන පළාත් පාලන පනතේ අඩංගු වෙලා තිබෙනවා. එම නිසා පනතේ තිබෙන බලතල ප්‍රයෝජනයට ගෙන අලුතින් හිතලා වෙනස් දේවල් කල යුතුයි.
අපේ තිබෙන මූල්‍ය ණය අරමුදල මඟින් බොහොම අඩු පොළියකට ආර්ථික වශයෙන් වාසිදායක වැඩ පිළිවෙළකට මුදල් යොදවන්න පුළුවන්. අනුරාධපුරයට රුපියල් මිලියන 3000 කට වඩා වැඩිපුර මුදලක් අමාත්‍යාංශය මඟින් දීල තිබෙනවා. සමහර ව්‍යාපෘති පිළිබඳව ඔබ තුමන්ලා දන්නෙ නැහැ. අනුරාධපුරයට එල්.ඩී.එස්.පී. ව්‍යාපෘතිය, අධ්‍යාපන නව්‍යකරණ, සෞඛ්‍ය වැඩසටහන , රීඩෙප් ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති ගණනාවක් මඟින් සැහෙන ප්‍රමාණයක වැඩ කොටසක් කිරීමට මුදල් වෙන් කරලා තියෙනවා.
මේ වසරේ පළාත් පාලන ආයතන 341 න් 285 කට මුදල් ලබා දුන්නා. මීට පෙර කවදාවත් කරලා නැහැ. මේ යන ක්‍රමයට ඉදිරියේදී මහා මැතිවරණයක් හෝ පළාත් පාලන මැතිවරණයක් පැමීණිමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ වැඩ කරන ප්‍රදේශයට දැනෙන විදිහේ සේවාවක් කරන්න. ඉතිහාසයේ පලමු වතාවට පළාත් පාලන නියෝජිත වරයෙකුට රුපියල් ලක්ෂ 40ක මුදලක් ලබා දීල තිබෙනවා. වසමකට රුපියල් ලක්ෂ 30 ගානේ ලැබෙනවා. එම නිසා මේ මුදලින් ඔබ තුමන්ලා දැනෙන වැඩ කොටසක් කල යුතුයි.
ඒ වගේම පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ප්‍රයෝගික දැනීම මහජනතාවගෙන් ලබා ගැනීම මෙන්ම විෂය පිළීබඳ දැනීම අප ආයතනයෙන් ලබා ගැනීම සඳහා ඉදිරියෙදී දීර්ඝ වැඩසටහන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මහජන නියෝජිතවරු ලෙස අද මෙතන හිටියට මෙම ආයතනයෙන් දැනුම ලබා ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටිය යුතු අති දක්ෂ අය අද මෙතන ඉන්නවා. එම නිසා මේ ලැබෙන දේශපාලන දැනීම අවශ්‍ය වෙනවා හෙට දිනයේදී මේ රට පාලනය කිරීමට.
එමෙන්ම, එල්.ඩී.එස්.පී.ව්‍යාපෘතිය මඟින් හොඳ ආදායම් උත්පාදන ව්‍යාපෘති ඇති කිරීම සඳහා යොජනා ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. ඉදිරියේදී මේ පිළිබඳව උතුරු මැද පළාතේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
ගිය මැතිවරණයේදී කොඨඨාශ 4917න් 3297 ක්ම ජයග්‍රහණය කලේ අපි නියෝජනය කරන පොදු ජන පෙරමුණ දේශපාලන පක්ෂය. පළාත් පාලන ආයතන 231 ජයග්‍රහණය කරලා තිබෙන ආණ්ඩුවක් තමා දැන් තියෙන්නේ. ඉදිරියේදී දින 180 පැන්න සේවකයින් ස්ථීර කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනත් හෝ අය වැය මඟින් මෙම කටයුත්ත සිදු කිරීමට අපි බලා පොරොත්තු වෙනවා