දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය ලබන මාසයේ – මහ බැංකුව හෙළිකරයි

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම අනුමත වීමෙන් පසු මෙරට වානිජ ණය හිමියන් යාවත්කාලීන කිරීමේ සැසියක් ඊයේ (30) පැවැත්විණි.

මාර්ගගත ක්‍රමයට පැවැත්වුණු මෙම සැසියේ දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් කරුණු දක්වන ලදී.

එහිදී දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය වැඩකටයුතු ලබන මාසයේ දී ආරම්භ කරන බවත් එය මැයි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මහ බැංකු සහ භාණ්ඩාගාර ප්‍රධානීන් ණය හිමියන් වෙත පවසා තිබේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගයේ ප්‍රතිව්‍යූහගතකරණයක් කිරීමට අවධානය යොමුව ඇති බවයි. එසේම සෙසු භාණ්ඩාගාර බිල්පපත් සහ භාණ්ඩාගාර බැඳුම්කර දේශීය ණය සඳහා ස්වෙච්ඡා ණය ප්‍රශස්තකරණයක් බලාපොරොත්තු වන බවත් මෙහිදී සඳහන්ව තිබේ.

මෙලෙස ස්වෙච්ඡා ප්‍රශස්තකරණයක් බලාපොරොත්තු වන දේශීය භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය ඩොලර් බිලියන 24 ක් පමණ බවට මෙම සැසියේ දී අනාවරණය කර ඇත.

පුවත යවන්න