ඉන්දියාවෙන් ගෙන්වා ඇති නැනෝ නයිට්රජන් පොහොර විශේෂය කිසිසේත් කාබනික පොහොරක් නොවන බව ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම සහ තාක්ෂණික පිඨවල ආචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පෙන්වා දෙයි.
ෆූටා හෙවත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේ, මෙම පොහොර වර්ගය පිළිබඳව කළ දීර්ඝ අධ්‍යයනයකින් පසුවයි.
එහි දැක්වෙන්නේ නැනෝ නයිට්රජන් යනු යූරියා අණු අඩංගු සංයෝගයක් බවයි.
4%ක නයිට්‍රිජන් අඩංගු වූ මෙම දියරය, ශාක පත්‍ර මත ඉසීමට නිර්දේශ කෙරේ.
කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කරන පරිදි වී හෙක්ටයාරයකට මෙම දියර පොහොර ලීටර 2.5 ක් වරකට යෙදිය යුතු ය.
වගා කාලය තුළ යෙදිය යුතු වාර ගණන තුනකි.
ඒ අනුව වැය වන්නේ ලීටර 7.5 ක් පමණක් වන අතර එමගින් වී වගාවට එක්වන නයිට්රජන් ප්‍රමාණය ග්‍රෑම් 300 ක් වැනි සුළු ප්රමාණයකි.
ටොන් 4 ත් 5 ත් අතර වී අස්වැන්නක් ලබාදීම සඳහා ගොයම් ගස්වලට ආසන්න වශයෙන් නයිට්රජන් කිලෝග්‍රෑම් 105 ක් වත් සැපයිය යුතු බව ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම පීඨ විද්වත්හු පෙන්වා දෙති.
එසේනම් යෙදිය යුතු නැනෝ නයිට්රජන් පොහොර ප්‍රමාණය ලීටර 1250 ක් විය යුතු ය.
ඉන්දියානු සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට මෙම දියර පොහොර වගාවට යෙදිය යුත්තේ ශාකයේ වර්ධක අවස්ථාවේ මතුපිට පොහොරක් ලෙසයි.
එය යූරියා භාවිතය අඩු කිරීමේ උපක්‍රමයක් මිස පූර්ණ විකල්පයක් නොවේ .
එසේ නම් වගාවට අවශ්‍ය පොස්පරස් හා පොටෑසියම් දෙන්නේ කොහොමද?
නැනෝ නයිට්රජන් දියර පොහොර ගසේ පත්රවලට ඉසින බැවින් ඒවායේ සාන්ද්‍රණය නිර්දේශිත ප්‍රමාණයට වඩා වැඩි කළ නොහැකි ය.
වැඩි කළොත් ශාක පත්‍රයට හානි සිදුවේ.
මේ නිසා ශාකයට අවශ්‍ය සමස්ත නයිට්රජන් ප්‍රමාණය පත්‍ර හරහා ලබා දීම ප්‍රායෝගිකව සිදුනොවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නිකුත් කළ නිවේදනයෙන් පෙන්වාදී තිබේ.
මෙය ඉන්දීය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලද රසායනිකයක් වුව ද ශ්‍රී ලංකාවේ සම්මත ප්‍රමිතීන්ට අනුව කාබනික වගාවන් සඳහා නැනෝ පොහොර නිර්දේශ නොකෙරේ.
එමෙන්ම මේ පොහොර ශ්‍රී ලංකාවේදී ප්‍රමිතිගත පරීක්ෂාවක් හෝ ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක්කර ඇති බවක් ද පෙනෙන්නට නොමැත.
මේ කරුණු සලකා බැලීමේදී නැනෝ නයිට්රජන් පොහොර භාවිතයෙන් හරිත කෘෂිකර්මාන්තයේ අපේක්ෂාවන් ඉටු කර ගත හැකිදැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රශ්න කර තිබේ.