නිදහස් පක්ෂයෙන් පොහොට්ටුවට SMS පණිවිඩයක් / “අපි යන්නේ නෑ”

ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා හදිසි සැලසුමක් හෝ සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප)  පවසනවා.

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් අවධාරනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (SLPP) අතර “අර්බුදයක්” නොමැති බවයි.

දෙපාර්ශ්වය අතර මතභේද පවතින නමුත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන තත්ත්වයක් මෙතෙක් උදාවී නොමැති බවද ඔහු කියා සිටියා.

සජීවී වීඩියෝ සම්මුඛ සාකච්ඡාවකදී නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආචාර්ය සුරේන් රාඝවන් කියා සිටියේ ශ්‍රීලනිපය තවමත් ආණ්ඩුවේ කොටසක් බව දන්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වෙත බ්‍රහස්පතින්දා කෙටි පණිවුඩයක් යොමුකළ බවයි.

මෙම පණිවිඩය මගින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය සමාන හා ගෞරවනීය හවුල්කරුවෙකු ලෙස සැලකිය යුතු බවයි.

සාධාරණ හා සමාන ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ අදහස්වලට ඉඩක් තිබිය යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.

මෙහිදී සුරේන් රාඝවන් කියා සිටියේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා යළි සේවයේ පිහිටුවීමට ගත් තීරණය ප්‍රශ්න කළ යුතු කරුණක් බවයි.

රජය ගත් ඇතැම් තීරණ ආපසු හැරවූ පළමු අවස්ථාව මෙය නොවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා. 

පුවත යවන්න