“තමන්ගේ දේශපාලන බංකොළොත්කම වහගන්න විවිධ පුද්ගලයන් දඩයම් කිරීමෙන් සිද්ධ වෙන්නේ ජී.එස්.පී.ප්ලස් නැතිවෙලා ලංකාව මේ තියෙන තැනෙනුත් පහළ වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවට අනතුරු අඟවන්නේ මේ තියෙන තත්වය අවබෝධ කරගන්න කියලා. ආණ්ඩුව තමන්ගේ දේශපාලන ජාමය බේරාගන්න මේ රටේ නීති කඩමින් ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කරමින් ජාතිවාදය ඇතිකරමින් කරන කටයුතු නිසා පරිප්පු කන්න වෙන්නේ පොදු ජනතාවට. අන්න ඒ දේශපාලන සූදුවට ඉඩ දෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා වමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (01) පෙරවරුවේ පැවති මාධය හමුවක් අමතමිණි.
එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්…
“ජනාධිපති සහ ආරක්ෂක ඇමති හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතාත්, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාත් අධිකරණ ඇමති අලි සබ්රි මහතාත් 2021 ජූනි 18වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. කැබිනට් පත්‍රිකාවේ තේමාව “1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත නැවත සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කිරීම” වශයෙනි. මේ කැබිනට් පත්‍රිකාවට අනුව අප විසින් බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණු ගණනාවක් තිබෙනවා. මේ පත්‍රිකාව ඉදිරිපත් කරන දේශපාලන වටපිටාව පැහැදිලි කරගෙන කැබිනට් පත්‍රිකාවේ කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීම වැදගත්.
පසුගිය ජුනි 10වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධව සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ඇතුළු කරුණු රාශියක් සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කරගත්තා. මේ පාර්ලිමේන්තුව ප්රජාතන්ත්රවාදී අරමුණු වෙනුවෙන් වගේම ඉතාම දුර්දාන්ත අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් බවත් අපි දන්නවා. මෙවර යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරිපත් කර තිබෙන යෝජනාව තුළ මේ රටේ යථාර්තයක් වන කරුණු රාශියක් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් රටේ පවත්වාගෙන යන අර්ධ මිලිටරි පාලනය, මේ රටේ ධනවතුන්ගේ සහ බලවතුන්ගේ වුවමනාව අනුව මෙහෙයවන නීතිය, විරුද්ධ අදහස් දරන අයට විරුද්ධව කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීම ආදිය පැහැදිලිව දකින්න ලැබෙනවා. 20වැනි සංශෝධනය හරහා සහමුලින්ම අධිකරණ විනිශ්චයකාරවරුන් පත්කිරීම ඇතුළු බලතල ගණනාවක් ජනාධිපතිවරයා නතුකර ගැනීමෙන් නීතිය සහ යුක්තිය ඉටුකර ගැනීම අහුරා දමා තිබෙනවා.
යුරෝපා පාර්ලිමේන්තුව ත්‍රස්තවායද වැළැක්වීමේ පනත කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මේ පනත අහෝසි කරලා වෙනත් පනතක් ගෙන්න කියලා ඔවුන් යෝජනා කරනවා. රනිල්-මෛත්‍රී පාලනය මෙවැනි පනතක් ගේන්න උත්සාහ කළා. යුද්ධයෙන් පස්සේ විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධවත්, ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ගේ දූෂණ සහ වංචාවන් විමර්ශනය කරන නිළධාරීන් කොටු කිරීම සඳහාත් යොදාගෙන තිබෙනවා. ඒ ගැන ඔවුන් පැහැදිලිව අවධානය යොමුකර හිජාස් හිස්බුල්ලා නීතිඥවරයා, අවුරුදු 26ක් වයස අහ්නා ජසීම් කියන තරුණ ලේඛකයා වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂවරයා ඇප නොදී රඳවාගෙන සිටීම ගැනත් විශේෂයෙන් අවධානය යොමුකර තිබෙනවා.
සිවිල් ක්‍රියාකාරීන්, සමාජ මාධ්‍ය තහනම් කිරීමේ ගැසට් එක, වගේ කරුණුත් යුරෝපා පාර්ලිමේන්තුව සැලකිල්ලට ගෙන තිබෙනවා. යුද්ධ කාලයෙත් නොතිබුණු දරුණු නීති එකතු කර සහ අනික් පැත්තෙන් නීති නොසලකා කටයුතු කිරීම සම්බන්ධයෙනුත් කරුණු දක්වා තිබෙනවා. දැන් වෙන දේවල් අනුව සුවිශාල යුද්ධයකදී පාවිච්චි කරන ආයනත සහ නීති මොවුන් පාවිච්චි කරමින් ඉන්නවා. මේ තත්වය යටතේ යුරෝපා පාර්ලිමේන්තුව ජී.එස්.පී. ප්ලස් සහනය තාවකාලිකව හෝ ඉවත් කරන්න යෝජනා කරනවා. මේ සහනය නිසා යුරෝ මිලියන 2.3ක පමණ ලංකාවේ අපනයන වෙළඳපොළ අහිමි වෙනවා. ලංකාවේ දෙවන වැඩිම අපනයන වෙළඳපොළෙ යුරෝපා සංගමය. මහර හිරගෙදර 11දෙනෙකු ඝාතනය කිරීම සහ 150කට වැඩි පිරිසකට පහර දීම, අඟුණකොලපැලැස්ස හිර ගෙදර පහර දීම ඇතුළු තිරස්චීන ක්‍රියා සම්බන්ධයෙන් දීපිකා උඩුගම මැතිණියගේ කාලයේ මේ රටේම මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිම නීතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. යුරෝපා සංගමයේ යෝජනාව සම්මත කරන්නේ මෙවැනි වටපිටාවක.
ලංකාව දැන් විශාල විදේශ විනිමය හිඟයක ඉන්න බව අගමැතිවරයාම කියනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ වගේම මේ රටේ වැඩකරන පංතියේ ආර්ථිකය විශාල වශයෙන් බිඳ වැටිලා තියෙන්නේ. ඒ තත්වය යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් කරන්නාවූ දේවල් නිසා යුරෝපා සංගමයේ වෙළඳපොළත් අහිමිකර ගන්නත් යනවා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මාතෘභූමියේ ස්වෛරීත්වය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග නිසා ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි කරන්න යනවා නෙවෙයි. මේ දුර්දාන්ත පාලනයේ අවශ්‍යතා වෙනුවෙන් කර තිබෙන දේවල් නිසා රටක් වශයෙන් වන්දි ගෙවන්න සිදුවී තිබෙනවා. කොවිඩ් මරණ භූමදානය කරන්න ඉඩ නොදී මුළු ලෝකයම රටවල් ඉස්සරහ විහිළුවට පත්වී අපට හිතවත්ව සිටි මුස්ලිම් රටවල්වල ඡන්ද ටිකත් ජිනීවාවලදී නැතිකර ගත්තා. අවසානයේ ජිනීවාවලදී පොල්ලෙන් ගහද්දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව දණ ගහලා සයින්දමරුදුවල කොවිඩ් සිරුරු වළදාන්න ඉඩ දුන්නා. මිත්‍ර රටවල් රාශියක් නැතිකරගෙන මානව හිමිකම් කොමිසමෙන් පොල්ලෙන් ගැහුවාම භූමදානය කරන්න ඉඩ දුන්නා. ලංකාවේ ජනතාව අඬලා, දොඩලා, වැඳලා, පුදලා කීවාට නොකරන දේවල් ජිනීවාවලින් පොල්ලෙන් ගැහුවාම ඉටුකරනවා. ශානි අබේසේකර මහත්තයාට ඇප දීමත් එහෙමයි. අවුරුද්දක් තිස්සේ රිමාන්ඩ් භාරයේ තබාගෙන ඉඳලා අභියාචනාධිකරණයෙන් තීන්දු කළේ ඔහුව රඳවා තබාගන්නවත් පසුබිමක් නැහැ කියලා. මේ අනුව අපට පේනවා වර්තමාන පාලකයන් යටතේ දෙපාර්තමේන්තු ක්‍රියා කරවමින් ඉන්නේ විදේශ බලකිරීම් කැඳවා ගැනීමේ වටපිටාවක බව.
රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා මාස ගණනාවක් තිස්සේ රැඳවුම් භාරයේ තබාගෙන සිටිනවා. පාස්කු ඉරිදා එල්ල කළ තිරස්චීන ප්‍රහාරය එල්ල කර අවුරුදු දෙකකට වැඩියි. ඒකට සම්බන්ධ සියලු දෙනාටම රටේ පවතින නීතිය අනුව දඬුවම් දිය යුතුමයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට අමතරව රටේ සිටි ඉහළ හමුදා නිලධාරියෙක්. ඒ නිසා ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක තිබෙන බව හිතනවා. හැබැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහු බලයට පත්වූ පසු අලුතින් කළේ මොනවාද? සාමාන්‍ය දැනීමට තිබෙන කරුණු මත මම මේ ප්‍රශ්න කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත්කළ පාස්කු කොමිසමම තමයි වර්තමාන පාලනය යටතෙත් දිගටම පවත්වාගෙන ගියේ. එයින් අදහස් කරන්නේ ඒ කොමිසම හරි කියලා ආණ්ඩුව පිළිගන්න බවයි. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තිබෙන කොමසාරිස්වරු පත්කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබුණා. අවශ්‍ය නම් පස්දෙනාම අයින් කරලා වෙන අය දාන්නත් තිබුණා. ඒ කිසිවක් කළේ නැහැ. අඩුම තරමේ මේ කොමිසමට අමතරව විශේෂ පරීක්ෂණ ඒකකයක් පිහිටුවන්නවත් උනන්දු වුණේ නැහැ. නමුත් ඡන්දයේදී පෝස්ටර් ගැහුවේ “හතරයි විසි එක මතකද?” කියලා. අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වුණාම 23 වැනිදා එතුමා කීවේ ඡන්දය ඉල්ලනවා කියලා. හැබැයි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සම්බන්ධයෙන් විශේෂ මැදිහත්වීමක් ආරක්ෂක හමුදාවේ හිටපු නිලධාරියෙක් හැටියට මැදිහත් වෙනවා අපි දැක්කේ නැහැ.
කාදිනල්තුමා විවිධාකාරයේ චෝදනා ආණ්ඩුවට ඉදිරිපත් කළා. පාස්කු ප්‍රහාරයට අවුරුදු දෙකක් පිරීමත් සමග ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය එල්ල වෙන අවස්ථාවේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තා. හැබැයි ඔහුට පාස්කු කොමිසමෙන් චෝදනා ගොණුවුණේ නැහැ. පොදුවේ ජනතාවගේ විරෝධය එල්ල වෙමින් “අවුරුදු දෙකක් මොනවද කළේ?” කියලා අහනකොට ඒක වෙනස් කරන්න රිෂාඩ් බදුර්දින් මන්ත්‍රීවරයා අත්අඩංගුවේ තබාගෙන ඉන්නවා. ඔහු මෙයට සම්බන්ධද නැද්ද කියන එක විමර්ශනය කිරීම ඒ අංශවල කටයුත්තක්. නමුත් පාස්කු ප්‍රහාරය කියන්නේ මේ ආණ්ඩුවට සොහොන ළඟින් යනකොට හැංගිලා යනවා වගේ තත්වයක්. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ඡන්දය වෙනුවෙන් දොස්තර සාෆිලා වගේ මාතෘකා ගෙනාවා. ඒ ඔක්කොම කරලත් සොහොන්පොළ ළඟින් යනකොට වගේ ආණ්ඩුව හැසිරෙන්නේ. ඊළඟ ජිනීවා යෝජනාවත් ගෙනාවාට පස්සේද රිෂාඩ් බදුර්දීන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ?
තමන්ගේ දේශපාලන බංකොළොත්කම වහගන්න විවිධ පුද්ගලයන් දඩයම් කිරීමෙන් සිද්ධ වෙන්නේ ජී.එස්.පී.ප්ලස් නැතිවෙලා ලංකාව මේ තියෙන තැනෙනුත් පහළ වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවට අනතුරු අඟවන්නේ මේ තියෙන තත්වය අවබෝධ කරගන්න කියලා. ආණ්ඩුව තමන්ගේ දේශපාලන ජාමය බේරාගන්න මේ රටේ නීති කඩමින් ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කරමින් ජාතිවාදය ඇතිකරමින් කරන කටයුතු නිසා පරිප්පු කන්න වෙන්නේ පොදු ජනතාවට. අන්න ඒ දේශපාලන සූදුවට ඉඩ දෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ වටපිටාවක ඉදිරිපත් කර තිබෙන මේ කැබිනට් පත්‍රිකාවේ හැම තැනම සඳහන් කර තිබෙන්නේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුති, රෙගුලාසි මෙන්ම නඩු තීන්දු අනුව යමින් ශ්‍රී ලංකාවේ නීතිය සංශෝධනයට ලක්කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා ත්‍රස්තවාදය වැළැක්වීමේ දේශීය නීති පද්ධතිය සංවර්ධනය වී ඇත.” කියලයි. එහෙම කියන ගමන්ම කැබිනට් පත්‍රිකාවෙන් ඉලක්ක කරන්නේ සමාජ මාධ්‍ය පාලනය කරන්න. ත්‍රස්දවාදය එන්නේ සමාජ මාධ්‍යවලින් බව තහවුරු කරන්න උත්සාහ කරනවා. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අදහස් හා ආකල්ප සමාජ මාධ්‍ය හරහා පුළුල් කර ගැනීමක් ගැන සඳහන් කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නමින් මේ කැබිනට් පත්‍රිකාවේ මුළු අවධානයම යොමු කර තිබෙන්නේ සමාජ මාධ්‍ය හා සයිබර් අවකාශය සම්බන්ධයෙන්.
ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය දිගටම තිබෙන්නේ විශේෂ මර්දන නීති මේ රටට අවශ්‍ය නැහැ කියන එක. මේ මර්දන නීතිවලින් මුළු රටම කැරකොප්පුවක් බවට පත්කළා. ජනතාව, මාධ්‍යවේදීන්, ස්වාමින් වහන්සේලා සහ සිවිල් ජනතාව මුළුමනින්ම කැරකොප්පුවකට දැක්කෙව්වා. රටතුළ ත්රස්තවාදයක් තියෙනවා නම් මැඩ පවත්වන්න සාමාන්‍ය නීති සංවර්ධනය වෙලා තිබෙන බව ආණ්ඩුවම කියනවා. ඒ නිසා නව මර්දන අනපනත් අවශ්‍ය නැහැ. දැනට තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් පාවිච්චි වෙන්නේ කොහොමද කියලා ඔබ දන්නවා. රාජ්‍ය දේපොළ වංචා කර බැරල් දාලා පාරක් කාපට් කළ සිද්ධියකට රිදීමාලියද්දේ ජනතාව විරෝධය පෑවා. ලංකාවේ දුප්පත්ම දෙවැනි තැන ගන්නා ජනතාවක් ඉන්න ප්‍රදේශයක වංචාවන්ට විරුද්ධව ජනතාව හඬ නගනකොට තක්කඩි දේශපානඥයන් මැර ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අපි දැක්කා. ඔහුව අත්අඩංගුවට නොගැනීම ගැන ජන මතයක් ගොඩනැගුණහම අත්අඩංගුවට ගෙන ඇප දෙනවා. ඒ සභාපතිවරයාම ගිහින් තමන්ට ප්‍රහාරයක් එල්ල කළා කියලා පොලීසියේ පැමිණිලි දානවා. අර පාරේ වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? සාමාන්‍ය තරුණයෙන් මුහුණු පොතේ පෝස්ට් එකක් දැම්මාම සී.අයි.ඩී. එකෙන් යන්නේ රංචු පිටින්. නමුත් වංචාවක් ගැන ප්‍රධාන මාධ්‍යවල පෙන්නූ කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කොහොමද? දැනට තිබෙන නීතිය මේ මට්ටමින් අවභාවිතා කරන පාලකයන් ත්‍රස්තවාදය වළක්වන්න කියලා යුරෝපා සංගමය දෙන ලණු කාල ක්‍රියාත්මක වුණොත් හිට්ලර්ගේ, මුසලෝනිගේ දෙදෙනාම එකතු වූ පාලනයක් බවට පත්වෙනවා. ඒ තරම් තක්කඩි ආකාරයට දැන් පවා නීති ක්‍රියාත්මක වෙන්නේ.
සමාජ මාධ්‍ය සම්බන්ධව ආණ්ඩුවේ ලොකු කතාවක් තියෙනවා. සමාජ මාධ්‍ය සර්ව සාධාරණ එකක් නෙවෙයි. ඒවා මෙහෙයවන්නේ අති විශාල සමාගම් සහ අතිවිශාල දේශපාලන පක්ෂ. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය බහුතරයක් දේශපාලන පක්ෂවලට ගැතිකම් කරනවා වගේම සමාජ මාධ්‍යයත් එහෙමයි. නමුත් ජනතාවට තමන්ගේ අදහස් කියා ගන්න යම් කිසි ඉඩක් ගොඩනැගිලා තියෙනවා. ත්‍රස්තවාදය අල්ලගෙන දඩයම් කරන්න හදන්නේ මේ පොඩි ඉඩකඩයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට විරුද්ධව ගෙනගිය මඩ ප්‍රචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි රාශියක් කළා. මේ මඩ ප්‍රහාර ගෙනගිය පොහොට්ටු මඩ බළකායට සම්බන්ධ එකසිය තිස් ගණනකගේ සම්පූර්ණ විස්තර ලබාදුන්නා. මේවා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කෝ? නීතිය සම්පූර්ණයෙන්ම පක්ෂග්රාහීව යොදා ගන්නා පාලක කල්ලියක් දැන් ඉන්නේ. මේ දේශපාලන ප්රභූන්ගේ වාහනවලට හැප්පිලා පහුගිය කාලේ පොලීසියේ ගණනාවක්ම මැරුණා. බොරැල්ල පොලීසියේ ට්‍රැෆික් ඕ.අයි.සී. මහත්තයා මැරුණා. ඒ වගේම කොල්ලුපිටිය ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් මහත්තයෙක් මැරුණා. මේ වගේ කල්ලි ආරක්ෂා කරන්න පොලීසියේ සමහර නිලධාරීන් ක්‍රියා කරන ගමන් මඩ බළකායට විරුද්ධව පැමිණිලි කරන ඒවා පරීක්ෂා කරන්නේ නැහැ. වංචා-දූෂණ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කරන්නේ නැහැ.
රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ධනවතුන්ට, බලවතුන්ට වගේම ආණ්ඩු පක්ෂයට සම්බන්ධ අයට පක්ෂග්රාහීව. මෑතකදී සිරකරුවන් නිදහස් කිරීමත් මේ වගේමයි. පෙබරවාරි 04වැනිදා මේ රට ඉතිහාසයේ පළමු වරට මරණීය දණ්ඩනය නියමවී සිටින සිකරුවන් නිදහස් කළා. ඊට පස්සේ ජූනි මාසේ මුල් සති දෙක තුළ නාමල් රාජපක්ෂ ඇමතිවරයා එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ටත් ජනාධිපති සමාව දෙන බව කීවා. ඊට පස්සේ පොසොන් පොහොයදා මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකුගේ සහෝදරයෙක් නිදහස් කළා. පෙබරවාරි මාසේ ඉඳලා ආවේ මේකට. මේ පිරිස අතර එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 16ක් හිටියා. එක් කෙනෙක් අත්අඩංගුවට ගන්නේ 2011දී. අධිකරණයෙන් සිර දඬුවම් නියම කළේ අවුරුදු 7ක්. 2012දී අත්අඩංගුවට ගත් කෙනෙකුගේ දඬුවම අවුරුදු 7යි. 2009 ජූලි මාසේ අත්අඩංගුවට ගත් කෙනෙකුගේ දඬුවම් කාලය අවුරුදු 2යි මාස 6යි. ඒ වගේම හැබැයි නිදහස් කරනකොට අවුරුදු 12කට ආසන්න කාලයක් සිර දඬුවම් විඳ තිබෙනවා. මම පැහැදිලි කරන්නේ අධිකරණයේ නීතිමය ක්‍රියාමාර්ගවලට ගතවන කාලයත් එක්ක ඒ ලැබෙන දඬුවම් කාලය එකතු වුණාම විශාල දඬුවම් කාලයක් සිරගත කර සිට තිබෙනවා. නිදහස් කළ 16 දෙනාගේම නීත්‍යානුකූල සිර දඬුවමට වඩා විශාල කාලයක් බන්ධනාගාරවල රඳවලා සිටියා. ආණ්ඩුව මේ සියල්ල කිරීමේ අරමුණ ඕනෑම නීතියක් තමන්ගේ දේශපාලන වූවමනා නිසා කඩන්න සූදානම් බවයි.
කොවිඩ් තත්වය ඇතුළේ රැඳවුම් බාරයේ ඉන්න සිරකරුවන් සති දෙකෙන් දෙකට උසාවියට ගෙන එන්නෙත් නැහැ. ඔවුන්ගේ ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් උසාවියට ඉදිරිපත් කරනවා. මේ නිසා තමන්ගේ පවුලේ අයට රැඳවුම් භාරයේ ඉන්න කෙනාව අවුරුදු එක හමාරකින් පෙන්වා නැහැ. රැඳවුම් භාරයේ තවමත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් දෙසිය ගණනක් ඉන්නවා. මේ අය මෙහෙම තියාගෙන හිටියාම ඒ දරුවෝ ත්රස්තවාදයට පෙළඹෙන්නේ නැද්ද? මේ දරුවන්ට ලැබෙන පෙළඹවීම කුමක්ද? අන්තවාදය මැඩ පැවැත්වීම අවශ්‍ය නම් ඒ සැකකරුවන්ට දෙන දඬුවම විසින් තව අන්තවාදීන් බිහි කෙරෙන ආකාරයෙන් නම් සිද්ධ වෙන්නේ මොකක්ද? අන්තවාදය පරාජයට පත්කළ යුතුමයි. හැබැයි එය කළ යුතු වන්නේ අන්තවාදය බෝ නොවන ක්‍රමවලින්. සදාම් හුසේන්ගේ ඒකාධිපති පාලනය වෙනස් කරන්න ඇමරිකාව ඊට වඩා ත්රස්තවාදයක් යොදවා සුන්නධුලි කළා. එහි ප්‍රතිඵලයක් තමයි විවිධ ත්‍රස්තවාදී කල්ලි බිහිවීම.
ඒ නිසා මේ රට රකිනවා කියලා වචනවලට මුවාවෙලා වර්තමාන ආණ්ඩුව ගෙනයන ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාමාර්ග තේරුම් ගන්න කියලා ජනතාවට කියනවා. පටු දේශපාලන වුවමනා වෙනුවෙන් ආණ්ඩුව කරන මේ කටයුතු නිසා අර්බුදයට ලක්වෙමින් තිබෙන්නේ රට. ජී.එස්.පී. ප්ලස් ලංකාවට නැති වුණොත් රට තවදුරටත් අගාධයට වැටෙනවා. එයින් තව දුරටත් රට විදේශීය බලවතුන්ගේ ග්‍රහණයට ලක්වෙනවා. එසේ නොවී සිටීමට නම් අපේ රටේ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් ආරක්ෂා කිරීම අවම මට්ටමින් හරි තිබෙන නීතියේ විධානය ආරක්ෂා කිරීම හරි දෙයක්. ඒකට ජාත්‍යන්තරයෙන් බලපෑම් එන්න ඕනෑ නැහැ. රට තුළ නීතිය කඩලා ඒ ගැන කතා කරනවා කියලා ලෝකයට බැනලා වැඩක් නැහැ. ඒනිසා අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා ආණ්ඩුවට බල කරනවා. මේ පනත් යොදාගෙන සමාජ මාධ්‍ය සහ වෙනස් අදහස් තිබෙන පුද්ගලයන් දඩයම් කිරීම නවත්වන්න කියලා බල කරනවා. ආණ්ඩුව ඉදිරිපත්කරන බොරු තර්කවලට හසු නොවෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව මඩ ගැහීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන පැමිණිලි රාශියට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියලා හෙළිකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඉල්ලා සිටිනවා.”