ප්‍රසන්න රණතුංග වරදකරු වෙයි / අත්හිටවූ සිර දඩුවමක්

අමාත්‍ය ප්‍රසන්න රණතුංග ට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(06) අත්හිටවූ සිර දඬුවම් හා මිලියන 25ක දඩයක් නියම කළේය.

ඒ, 2015 වසරේ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබා ගත්තේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවක එක් චෝදනාවකට වරදකරු කරමිනි.

2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා සිට එම ජුනි 02 වැනිදා දක්වා කාලය තුළ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචි අනවසර පදංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරිමට අවශ්‍ය කටයුතු ඉටු කර දීමට ජෙරාජ් මෙන්ඩිස් නැමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 15 ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.

ප්‍රසන්න රණතුංග ට බරපතල වැඩසහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සිර දඬුවම වසර 5 කට අත්හිටවනු ලැබිණි.

විත්තිකරුට රුපියල් මිලියන 25 ක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් තවත් මාස 9 ක සිර දඬුවමක් නියම කරන බවත් සඳහන් කළේය.

සිද්ධියෙන් අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් වන්දිය ගෙවීම පැහැර හැරියහොත් අමතර මාස 3 ක සිර දඬුවමක් නියම කරන බවත් නඩු තීන්දුවේ සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන මොරින් රණතුංග මහත්මිය සහ ඇගේ ඥාතියෙකු බව කියන නරේෂ් ෆාරික් නැමැත්තා නඩුවේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි.

අදාල ව්‍යාපාරිකයාට තර්ජනය කර පොරොන්දු නෝට්ටු 05 ක් අත්සන් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 373 වැනි වගන්තිය උල්ලංඝණය කර දඩුවම් ලැබිය හැකි වරදක් කළ බවට විත්තිකාර ප්‍රසන්න රණතුංග වරදකරු කෙරිණි.

නඩුව පසුගිය යහපාලන සමයේ පිහිටවූ දුෂණ මර්දන කමිටුවට කළ පැමිණිල්ලක් අනුව සිදු කර ඇති බවට විත්තිය ඉදිරිපත් කළ තර්කය ඉවත දැමූ විනිසුරුවරයා එය නීත්‍යානුකූල බව සඳහන් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි මෙහෙයයූ අතර විත්තිය වෙනුවෙන් විත්තිකාර ප්‍රසන්න රණතුංග හා ඔහුගේ බිරිඳ විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් ලබාදී තිබුණි.

ඒවා හුදු ප්‍රකාශ බවට පෙන්වා දුන් විනිසුරුවරයා එවා ඉවත දමන බව ප්‍රකාශ කළේය..

නිල බලය යොදා ගනිමින් කටයුතු කරන දේශපාලනඥයින්ට මෙය හොඳ නඩු තීන්දුවක් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනි සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් කියා සිටියේය.

වසර 04 ක කාලයක් දීර්ඝ ලෙස විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව පිටු 52කි.

පුවත යවන්න