පාර්ලිමේන්තුවේ හා රටේ බහුතරය ගැන රනිල් කියයි

රටේ බහුතරය මෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරයද එක්සත් ජාතික පෙරමුණ සතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ දිනයේ (21)අරලිය ගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළා.

අප විසින්ම ජනාධිපති ධූරයට පත්කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පෙරමුණට  පහර ගැසීම සිදු කළා. අපේ ඡන්ද නැතිනම් ඔහුට ජනාධිපති වීමට හැකියාවක් තිබුණේ නැහැ.  ඔක්තෝබර් මස 26 දින කළ මේ සිද්ධියෙන් අනතුරුව ප්‍රශ්නය අවසන් වේවි යැයි ඔවුන් සිතුවා. ඒ ප්‍රශ්නය එක්සත් ජාතික පෙරමුණේ නොව සමස්ථ රටේ ප්‍රශ්නයක් බවට අද පත්වෙලා තිබෙනවා. 

අපේ ජනතාවගේ ඡන්දයෙන් පැමිණ ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාදාමය ජනතා පරමාධිපත්‍යයට පහර ගැසීමක් බව කිව යුතුයි. අපි සටන් කළේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ජය ගැනීමටයි. අපි 19 වන සංශෝධනයෙන් ඉදිරියට ගියා. ඒ සංශෝධනයෙන් ජනතා අයිතිවාසිකම් තව දුරටත් තහවුරු කළා. ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු පුද්ගලයෙක් බවට පත්කළා. නමුත් විධායකය නැති කිරීම සඳහා අප පත් කළ පුද්ගලයා අද උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව පාගා දැමීමටයි. අප එයට ඉඩ දෙන්නේ නෑ. එක්සත් ජාතික පෙරමුණ පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය ඇතුළු අප සමග සිටින සියළු පක්ෂත් රටේ ජනතාවගේ එම මතයට විරුද්ධයි. 

අද රට යම් මතයකට පැමිණ සිටිනවා. මේ මතය අප බිම් මට්ටම දක්වා තහවුරු කළ යුතුයි. එය කළ යුත්තේ අපේ සංවිධාන මාර්ගයෙනුයි. ගම්වලට ගොස් රැස්වීම් පවත්වන්න, කථා පවත්වන්න, අදහස් ප්‍රකාශ කරන්න එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව අනෙකුත් විවිධ සංවිධාන හා එක්ව ක්‍රියා කරන්න. ත්‍රිරෝධ රථ සංගම්, සිංහ සමාජ සංවිධාන, විවිධ සුභ සාධක සමිති සංවිධාන මේ සියල්ල  තිබෙනවා. අපි මැතිවරණ රැස්වීම්වල අමතනවා වගේම මේ සියළු දෙනාම ආමන්ත්‍රණය කරමින් රටේ විශාල බලවේගයක් ගොඩනැගිය යුතුයි.

අප අපේ සටන බිම් මට්ටමට සහ ගම් මට්ටමට ගෙන යා යුතුයි. අපේ දිස්ත්‍රික් සංවිධායකවරුන් මේ සම්බන්ධයෙන් අපිට වාර්තා කළ යුතුයි. පන්සල්වල බෝධි පූජා පත්වන්නට පුළුවන්. පල්ලිවල දේවස්ථානවල එවැනි වැඩසටහන් සංවිධානය කරන්නට පුළුවන්. ඔබ කළ යුත්තේ එවැනි බිම් මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. ජාතික තලයේ වැඩසටහන් අපි ක්‍රියාවට නංවනවා. අපි පාර්ලිමේන්තුවේත්, අධිකරණයේත් දැනට ක්‍රියාත්මක වී තිබෙනවා. අපට අවශ්‍යව තිබෙන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමයි. මැතිවරණය අපට ප්‍රශ්නයක් නොවෙයි. ආණ්ඩුව පැවතිය යුත්තේ ව්‍යවස්ථාව අනුවයි. අපි අනෙකුත් දේශපාලන පක්ෂ සමග පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කොට මැතිවරණය පැවැත්වීම ගැන තීරණය කරනවා. 

පළමුව පවත්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණද, ජනාධිපතිවරණයද,  එය පවත්වන්නේ කවදාද? එය කරන්නේ කෙසේද ආදී විවිධ ප්‍රශ්ණ නැගෙනවා. නීති විරෝධි ක්‍රමයකට ඊළඟ මැතිවරණය පවත්වා අපි ජයග්‍රහණය කර නීති සම්පාදනය කරන අවස්ථාවේදී ඇතැම් පුද්ගලයෙකුට මේ පාර්ලිමේන්තුවට බලයක් නැතැයි තර්කයක් ගොඩ නැගිය හැකියි.  එවිට අප කළ යුත්තේ කුමක්ද? ජනමත විචාරණයක් පවත්වා ව්‍යවස්ථාවක් හදන්නද? නිත්‍යානුකඣල රජයක් ස්ථාපිත කොට පාර්ලිමේන්තු ක්‍රමයට අනුව නිසි පරිදි මැතිවරණ පවත්වන ලෙස අප පවසන්නේ මේ හේතුව නිසයි. 

වත්මන් පාර්ලිමේන්තුවට 2020 අගෝස්තු දක්වා කාලය තිබෙන බව මගේ අදහසයි.  ඊට පෙර මැතිවරණ අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ එකට එක්වී තීරණය ගනිමු. නමුත් ඊට කලින් ව්‍යවස්ථාව හා නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතුයි. එම නිසා දැන් මැතිවරණ ගැන කතා කිරීමෙන් පළක් නැහැ. මෙතැන කථා කළ යුත්තේ ව්‍යවස්ථාව ගැනයි. මැතිවරණය ගැන බලාපොරොත්තු වන අය ඒ අයට වාසි වන අන්දමේ කථා කියනවා. ඡන්දෙකට යන්න ඒ අය බලාපොරොත්තු වන බව කියනවා. එසේ ප්‍රකාශ කරන්නේ වෙනත් කියන්නට දෙයක් නැති නිසයි. 

අපට අවශ්‍යව තිබෙන්නේ විශේෂයෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යයත්, ව්‍යවස්ථාවත් ආරක්ෂා කිරීමයි. ඒ අයිතීන් හොරකම් කරන්නට බැහැ. විශේෂයෙන්ම විධායක බලය අහෝසි කරනවා යැයි පැවසූ ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තුව පාගා දමන්නට දෙන්න බැහැ. මේ ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ අයටවත්, ජනාධිපතිවරයාට ඡන්දය ප්‍රකාශ කළ අයටත් සීමා වෙලා නැහැ. ඔහුට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අයත් මේ ක්‍රියාව වැරදි බව ප්‍රකාශ කරනවා. 

සෑම දෙනාම මෙය වැරදි බව දන්නවා. ගමේ පන්සලේ සිට ප්‍රධාන නගරය දක්වා මේ සත්‍යය ප්‍රකාශ කළ යුත්තේ ඒ නිසයි. මේ අවස්ථාවේදී මා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් විශේෂ යමක් කිව යුතුයි. පාර්ලිමේන්තුවේ බලය කතානායකතුමා විසින් ආරක්ෂා කළා. ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒ හා සමාන තීන්දුවක් දුන්නා. සිදුවූ සියල්ල අපි රූපවාහිණියෙන් දුටුවා. පාර්ලිමේන්තුව රැස්වූ පළමු දිනයේ සිදුවුනේ කුමක්ද ?  බාධා කළේ කවුද ? අපි එතනට ආවේ නැහැ. 

දෙවන දින අපේ මන්ත්‍රිවරු කතානායකතුමා ආරක්ෂා කිරීමට ඉදිරිපත් වුණා. එදින සිදුවූ සියල්ල හැන්සාඩ් වාර්තා ගතවී තිබෙනවා. තුන්වන දින සිදුවීම් දෙස බලන්න. සීනුව නාදවූ පසු කතානායකතුමා සභා ගර්භයට පැමිණිය යුතුයි. කළ යුත්තේ කුමක්ද ? පාර්ලිමේන්තුව කල් දැමීමට හෝ එතුමාගේ ආසනයට පැමිණිය යුතුයි. සිනූව නාද කිරීමෙන් පසු කතානායකතුමා තම අසුනට නොපැමිණියේ නම් කතානායක අසුනේ වාඩිවී සිටි අය කෑගසන්නට පුළුවන්. නිත්‍යානුකුල තත්වය එයයි. කතානායකතුමා ඇතුලට පැමිණිය යුතුය. ඒ බව නීතිපතිට එරෙහිව පැවති එඩ්මන් සමරක්කොඩි නඩුවේ සදහන් වෙනවා. එය 1955 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුවක්. කතානායකවරයා එහි සිටිය යුතුයි. නැතිනම් වෙනත් කෙනෙකුට එම තනතුරට හිමිකම් කිව හැකියි.  

නිත්‍යානූකඣලව එතනට පැමිණීමට කතානායකතුමාට අයිතියක් තිබුණා. කතානායකතුමා පළමුව කතාකළ අවස්ථාවේදී කිසිවෙකු කතා නොකළේ නම් එතුමාට සභාවට කල් දැමීමට අවකාශ තිබුණා. නමුත් සුමන්දිරන් මන්ත්‍රිතුමා ස්ථාවර නියෝග අත්හිටුවීමට යෝජනා කළා. එයින් පසු සිදු වූ දේවල් නිසා ජනතාවට පාර්ලිමේන්තුව එපා වුණා. සෙංකෝලය අල්ලා ගන්න හැදුවා. සෙංකෝලය රදවා තිබූ මේසය බිමට ඇඳ දැම්මා. පොත්වලින් ගැහුවා. බයිබලයෙන් දමා ගැසුවා. වසර 85ක් පුරා අපට ආඩම්බර වෙන්න තිබුණු පාර්ලිමේන්තුව මේ තත්වයට පත්වුණා. මහින්ද රාජපක්ෂ මේ සිදුවූ සියල්ල බලාගෙන සිටියා. අඩු ගණනේ ඔහුට නොපැමිණෙන්ට තිබුණා. පැමිණියා නම් එම තත්වය නවත්වන්නට උත්සාහ කරන්නට තිබුණා. ඒ කිසිවක් ඔහු කළේ නෑ. මෙය ඒ අය සැලසුම් කළ වැඩපිළිවෙලක් බව හොදින්ම අවබෝධ කරගත හැකියි. 

ඉන්පසුව ජනාධිපතිතුමා පක්ෂ නායකයින් සියල්ල කැදවනු ලැබුවා. එහිදී ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් තොරව මෙය සිදුකරන්නට බැරි දැයි ප්‍රශ්න කළා. හදිසි වැඩ කටයුත්තක් තිබේ නම් ඕනෑම අවස්ථාවක ස්ථාවර නියෝග අත්හිටුවීමට පුළුවන්. 18 වන සංශෝධනය ඉදිරිපත් කළේත් ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් පසුවයි. මීට පෙර පැවති සියලූ රජයන් එසේ සිදු කොට තිබෙනවා. හදිසි තත්වයක් පවතිනවා නම් ලංකාවේත්, එක්සත් රාජධානියේත් එසේ කළ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. 

එක්සත් ජාතික පෙරමුණත්, ද්‍රවිඩ සංවිධානයත් දැනට මෙම යෝජනාව සම්මත කර ඇති බව ප්‍රකාශ කළා.  කල් ලබා දී ස්ථාවර නියෝග අත්හිටුවන්නේ නැතිව වෙනත් යෝජනාවක් සම්මත කර ගන්නට බැරිදැයි එහිදී ජනාධිපතිවරයා ප්‍රශ්න කළා. ඒ අනුව කතානායකතුමත්, පක්ෂ නායකයනුත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අපි වෙනත් යෝජනාවක් ඉදිරිපත් කළා. විශ්වාසභංගය තහවුරු වී ඇති බවත් මේ තත්වය අනුව කැබිනට් මණ්ඩලය අහෝසි වී ඇති බවටත් කතානායක තුමා ප්‍රකාශ කර ඇති හෙයින් එම තත්වය යටතේ අගමැතිවරයාට මුදල් වෙන් කිරීමට හැකියාවක් නොමැති බවට යෝජනාවක් රවි කරුණානායක මන්ත්‍රිවරයා ඉදිරිපත් කළා. 

එතුමාගේ ඒ අදහස දැන් ඉදිරියට පැමිණ තිබෙනවා. මෙය ඉදිරිපත් කළේ ජනාධිපතිවරයා විසින් යෝජනාව ඉදිරිපත් කළායින් පසුවයි. මේ අය එදාට ඡන්දයක් පවත්වන්නට ඉඩ දෙනවාදැයි බලමු.  තමන්ට බහුතරයක් නැති නිසයි කඩාකප්පල් කරන්නේ.  දැන් අභියෝගය පවතින්නේ එතනයි. 

රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව තිබෙනවා. බොහෝ කරුණු කල්පනා කර ඒ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ යෝජනාව සම්මත වුවහොත් අගමැතිවරයාට මුදල් ලැබෙන්නේ නැහැ. බහුතරයක් තිබේ නම් එම යෝජනාව පරාජය කරන්න. බහුතරයක් නොමැති නම් බාධා කරන්න උත්සාහ කරාවි. බාධා කරන්නේ බහුතරයක් නොමැති නිසා බව එවිට රට දැන ගන්නවා. 

මෙම යෝජනාව ඉදිරිපත් කළේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි. ඒ යෝජනාවට මුහුණ දෙන්නේ කෙසේදැයි දැන් අප බලමු.  අපට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා. එමෙන්ම රටේත් බහුතරයක් තිබෙනවා. එම නිසා ඕනෑම අභියෝගයට සූදානම් බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. 

ඉදිරි කෙටි කාලය තුල අප හරියාකාරව ක්‍රියාකර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිකර ඉදිරියට යමු. මෙය එක්සත් ජාතික පාක්ෂිකයන්ට බලපාන ප්‍රශ්නයක් නොවෙයි. සමස්ත රටේම ප්‍රශ්නයක් බව කිව යුතුයි. එම නිසා සියළුම දෙනා එකතු කරගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා. කිසිවකුත් තරහ කර ගැනීමට අපට අවශ්‍ය නැහැ. 

ලබන සඳුදා ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රිවරුන් මුණ ගැසීමට නියමිතයි. අපගේ ශක්තිය ආරක්ෂා කර ගනිමින් ජනතා ජයග්‍රහණයක් සඳහා ගමන් කරමු.