පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවන්න ඉල්ලීමක්

ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විනිසුරුවරුන් නව දෙනකු හෝ 11 දෙනකුගෙන් සමන්විත සම්පූර්ණ විනිශ්චය මණ්ඩලයක් හරහා විභාග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ඊයේ රාත්‍රියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
එහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද අදහස් පල කළා.

‘‘පාර්ලිමේන්තුව දේශපාලන ආණ්ඩු පෙරලියකට පසුගිය 26 වැනි දා භාජනය වූ බව අපි කළින්ම ප්‍රකාශ කළා. එවකට තිබුණු එක්සත් ජාතික පක්ෂයේ හා සන්ධානයේ ගිවිසුම අවසන් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව  අවසන් වුණා. එවැනි ගිවිසුමක අවසානයේ දී ආණ්ඩුව විසිරී යනවා. අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමත්‍යවරයා ලෙස පත් කර අමාත්‍ය මණ්ඩලය පත් කළා. මේ අතර ජනාධිපතිත් අගමැතිත් අමාත්‍යමණ්ඩලයත් සාකච්ඡා කිරීමෙන් පසු මෙරට ඡන්ද දායකයන්ට උත්තරීතර පාර්ලිමේන්තුවක් අලුතින් පත් කිරීම සඳහා මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. ජනවාරි 05 මහ මැතිවරණ පවත්වන්න නිවේදනය නිනුත් කළා. පාර්ලිමේතුවක් විසිරවිය හැක්කේ ජනාධිපතිවරයාට පමණි. ඒ අනුව ඒ බලතල පාවිච්චිකරමින් රටේ ජතාවට අලුත් පාර්ලිමේන්තුවක් පත් කර රටේ ජනතාවට වඩා සුබවාදී කිරීමට පාලිමේන්තු මැතිවරණයකට සූදානම් වීම ආරම්භ කළා.

මේ අතරතුර  පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීමේ නිවේදනය පැවැත්වීමේ ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනය අභියෝගයකට ලක් කරමින් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහින් එය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියා. අද ශ්‍රේෂ්ඨාධිකරණය  එය තාවකාලික අත්හිටුවීමක් පමණක් කරලා තියෙනවා.