බහුතරයක් කියන්නේ බොරු /පොලිස්පතිගෙන් ජනපතිට වාර්තාවක්

පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසමින් පැමිණිලි ඉදිරිපත් කර ඇති පොලිස් නිලධාරීන් බහුතරයක් එවැනි පළිගැනීම්වලට ලක්වූවන් නොවන බව අනාවරණවී තිබෙනවා.
අරුණ පුවත්පත වාර්තා කළේ පොලිස්පති චන්දන වික්‍රමරත්න ජනාධිපතිවරයාට ලබාදී ඇති වාර්තාවෙන් මෙම කරුණු හෙළිවී ඇති බවයි.
මේ ඊට අදාළව අරුණ පුවත්පත පළකර තිබූ වාර්තාවයි.
පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියන ලැයිස්තුවේ සිටින පොලිස් නිලධාරීන් බහුතරයක් එවැනි පළිගැනීම්වලට ලක්වූවන් නොවන බව පොලිස්පති චන්දන වික්‍රමරත්න ජනාධිපතිවරයාට ලබාදී ඇති වාර්තාවේ සඳහන් වේ.

එම නිසා මෙසේ දේශපාලන පළිගැනිම්වලට ලක්වූ බව කියමින් උසස්වීම් ලබාදීමට නිර්දේශ කර සිටින පොලිස් නිලධාරීන්ගේ පැටිකිරිය යළි සොයා බලන බව මහජන ආරක්ෂාව පිළිබඳ රියර් අද්මිරාල් සරත් වීරසේකර ‘අරුණ’ට ප්‍රකාශ කළේය.

දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ සිටින පොලිස් නිලධාරීන් සත්‍ය වශයෙන්ම පළිගැනීමකට ලක්ව ඇතැයිද යන්න සොයා බලා වාර්තා කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ නියෝගයක් මත පොලිස්පතිවරයා අදාළ වාර්තාව ජනාධිපතිවරයාට සහ ඇමැති සරත් වීරසේකට යොමුකර තිබේ.

මෙම ලැයිස්තුවේ ඇතැම් නිලධාරීන් පසුගිය රජය සමයේත් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියා උසස්වීම් ලබාගෙන මෙම රජය යටතේත් එවැනි උසස්වීම් ඉල්ලා ඇත. තවත් නිලධාරීන් ප්‍රභූ ආරක්ෂක සේවයේ සිට ප්‍රභූවරයා මාරු වූ පසු සාමාන්‍ය සේවයට කැඳවීමත් දේශපාලන පළිගැනීමක් ලෙස හුවා දක්වා ඇතැයි හෙළිවී තිබේ. අනියම් සබඳතා නිසා පවුල දෙදරායාම වැළැක්වීමේ අරමුණින් ඉහළ නිලධාරීන් කළ මාරුවීම් පවා දේශපාලන පළිගැනීම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

මෙම දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් යැයි කියන ලැයිස්තුවේ උසස්වීම් ලබාදීම ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා තාවකාලිකව නවත්වා දැමීමෙන් පසු මෙම වාර්තාව කැඳවා ඇත. – අරුණ පුවත්පත – තිස්ස රවීන්ද්‍ර පෙරේරා

පුවත යවන්න