බාල වයස්කාර දැරියන් අපයෝජනය : සාරුවා සුනිල් නිදොස් කොට නිදහස්

බාල වයස්කාර දැරියන් විශාල ප්‍රමාණයක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉන් එක් සිද්ධියකට වරදකරු වී වසර 15ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් ලැබූ අකුරැස්ස ප්‍රාදේශීය සභාව හිටපු සභාපති සාරුවා ලියනගේ සුනිල් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය කටයුතු කර තිබේ.

තමාට පනවා තිබෙන සිර දඬුවමින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා විත්තිකාර සාරුවා ලියනගේ සුනිල් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් පී. කුමාරන් රත්නම් සහ සම්පත් අබේකෝන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

මහාධිකරණය මගින් තමන්ව වරදකරු කර ඇත්තේ අතවරයට ලක්වූ බව කියන දැරිය ළමාරක්ෂක අධිකාරියට ලබාදුන් වීඩියෝ සාක්ෂියක් මත පමණක් බව ඔහු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

එම වීඩියෝ සාක්ෂිවල සඳහන් වූ කරුණු වෙනත් ස්වාධීන සාක්ෂිවලින් සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

එම අභියාචනා පෙත්සම පිළිබඳව විභාගයක් පවත්වා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල විත්තිකරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබේ.

වර්ශ 2012දී බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් සාරුවා ලියනගේ සුනිල්ට චෝදනා එල්ල වූ අතර 2020 ජනවාරි 17 වන දා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය ඔහුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවක්, රුපියල් 25,000ක දඩයක් සහ රුපියල් 250,000ක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කර තිබිණි.

පුවත යවන්න