බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇති රෆා මාරුව යනු කුමක් ද?

ඊශ්‍රායල-ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු ගාසා තීරයේ සිට පළමු සිවිල් වැසියන් පිරිස රෆා දේශසීමාව හරහා ඊජිප්තුව තුළට පැමිණ තිබේ.

දරුණු ලෙස තුවාල ලැබූ පලස්තීනුවන් කිහිප දෙනෙකු ගිලන්රථවලින් රැගෙන ගිය අතර, වෙනත් රටවල ගමන් බලපත්‍ර හිමි 100කට වැඩි පිරිසක් බදාදා [දේශසීමාව] හරහා ගමන් කළහ.

කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් සිදු වූ බව කියන එකඟතාවක් අනුව, තුවාල ලැබූ 80 දෙනෙකු පමණ සහ විදේශීය සහ ද්විත්ව පුරවැසියන් සිය ගණනක් ඉන් පිටව යනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

සති තුනකට අධික කාලයකට පෙර ගැටුම ආරම්භ වීමෙන් පසු එවැනි ඉවත් කිරීමක් සිදු වූ පළමු අවස්ථාව මෙය යි. දේශසීමාව කොපමණ කාලයක් විවෘතව පවතිනු ඇති ද යන්න අපැහැදිලි ය.

ගාසා තීරයට ආධාර ලබාදීම සඳහා එය දැනටමත් දින 10කට වැඩි කාලයක් විවෘතව පැවතිණි. මේ වන විට ට්‍රක් රථ 200කට වැඩි ගණනක් දේශ සීමාව හරහා ගමන් කර ඇති නමුත් තවත් බොහෝ ආධාර අවශ්‍ය වේ.

රෆා මාරුව යනු කුමක් ද?

එය ගාසා තීරයෙන් පිටවීමේ දකුණු කෙළවර වන අතර ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපයට මායිම් වේ.

ගාසා තීරයට ඇතුළු වීමට සහ පිටවීමට ඇත්තේ තවත් දේශසීමා හරස් මාරු දෙකක් පමණි. ඉන් එකක් උතුරු ගාසා තීරයෙන් ඊශ්‍රායලයට ඇතුළු වන, මිනිසුන් සඳහා වන එරෙස් වන අතර, අනෙක දකුණු ගාසා තීරයට ඊශ්‍රායලය සමග වෙළෙඳ භාණ්ඩ හුවමාරුව සඳහාම වෙන්වුණු කෙරෙම් ශලෝම් නමැති සන්ධියකි. ඒ ද්විත්වය ම වසා දමා ඇත.

එය දැන් වැදගත් වන්නේ ඇයි?

ගාසා තීරය පාලනය කරන පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස්හි තුවක්කුකරුවෝ, ඔක්තෝබර් 7 වන දා 1,300කට වැඩි පිරිසක් ඝාතනය කරමින් දකුණු ඊශ්‍රායලය වෙත එල්ල කළ පෙර නොවූ විරූ ප්‍රහාරය අතරතුර එරෙස් මාරුවට ද ප්‍රහාර එල්ල කළහ.

දින කිහිපයකට පසුව, ඊශ්‍රායලය එරෙස් සහ කෙරෙම් ශලෝම් නැවත දැනුම් දෙන තුරු වසා දැමූ බව ප්‍රකාශ කළේ, මිනිසුන්ට තීරය තුළට සහ ඉන් පිටතට යාමට ඇති එක ම මාර්ගය රෆා මාරුව බවට පත් කරමිනි.

මානුෂීය ආධාර ලබා දීමට ඇති එකම දේශසීමා පිවිසුම් මාර්ගය ද රෆා මාරුව වේ.

Limited aid crossed into Gaza on 21 October
ඔක්තෝබර් 21 වන දා සීමිත ආධාර තොගයක් ගාසා තීරයට ඇතුළු විය

රෆා හරස් මාරුවේ සිදුවන්නේ කුමක් ද?

ඒ හරහා ගමන් කළ හැකි කාට ද යන්න පාලනය කිරීමේ බලය ඇත්තේ හමාස් සහ ඊජිප්තුව වෙත වන නමුත්, හමාස් ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කිරීමෙන් පසු එම කටයුතු අඩාල වී ඇත.

ඔක්තෝබර් 9 සහ 10 යන දිනවල දේශ සීමාවේ ඊජිප්තු සහ පලස්තීන පැතිවල වැසියන්ට තුවාල සිදු කරමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර ත්‍රිත්වයකින් පසු එම මාරුව වසා දැමූ බව ඊජිප්තු මාධ්‍ය ප්‍රකාශ කළේ ය.

රෆා දේශසීමා හරස් මාරුව ගාසා තීරයේ මිනිසුන්ට “සහාය වීමේ මාර්ගයක්” ලෙස භාවිතා කළ හැකි බැවින් ඒ ආශ්‍රිතව සිදුකෙරෙන ප්‍රහාර නතර කරන ලෙස ඔක්තෝබර් 12 වන දින ඊජිප්තු රජය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ ය. නමුත් එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා සහතිකයක් ලැබෙන තුරු එම මාර්ගය විවෘත නොකරන බව ඊජිප්තුව අවධාරණය කළේ ය.

සති තුනකට පසු, ගාසා තීරයෙන් ඇතැම් පුද්ගලයින්ට පිටතට යාමට අවසර දීම සඳහා කටාර් රාජ්‍යය මැදිහත් වී ඇති බවට වාර්තා වීමත් සමග දේශසීමාව අසල ජනතාව රැස් වෙමින් සිටිති.

රොයිටර්ස් පුවත් ඒජන්සිය පවසන්නේ, මෙම ගල්ෆ් රාජ්‍යය එක්සත් ජනපදය සමග සම්බන්ධීකරණයෙන් ඊජිප්තුව, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සාකච්ඡා පවත්වමින් සිටි බව ය.

බරපතළ තුවාල ලැබූ ඇතැම් පුද්ගලයින්ට සහ වෙනත් රටවල ගමන් බලපත්‍ර හිමියන්ට ගාසා තීරයෙන් පිටතට යාමට ඉඩ සලසන්නේ මෙම එකඟතාව යි.

කටාර් යනු හමාස් දේශපාලන නායකත්වයේ නිවහන යි. 2012 වසරේ සිට ඔවුන්ට දෝහා අගනුවර කාර්යාලයක් ද තිබිණි.

Rafah

හරස් මාරුව වසා තිබුණේ ඇයි?

ඊශ්‍රායලය සහ ඊජිප්තුව, 2007 වසරේ දී හමාස් සංවිධානය එම ප්‍රදේශයේ පාලනය අත්පත්කර ගත් දා සිට ගාසා තීරයට සහ ඉන් පිටතට භාණ්ඩ සහ මිනිසුන් ගෙන යාම සීමාකර තිබේ. ආරක්ෂක හේතු මත එම අවහිර කිරීම් අවශ්‍ය බව දෙරට පවසයි.

හමාස් සටන්කාමීන් එල්ල කළ මාරාන්තික ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ඔක්තෝබර් 9 වන දින ගාසා තීරය “පූර්ණ ලෙස වටලන” ලෙස නියෝග කළේ, “විදුලිය නැති වේවි, ආහාර නැති වේවි, ඉන්ධන නැති වේවි, හැම දේම වහලා දාලා,” යනුවෙන් ද පවසමිනි.

මේ අතර, යුද්ධය හේතුවෙන් පළා යන පලස්තීන සරණාගතයින් විශාල වශයෙන් රට තුළට ගලා එනු ඇතැ යි ඊජිප්තුව බියෙන් පසුවෙයි.

ගාසා තීරයෙන් නික්මීම පලස්තීන වැසියන්ගේ අභිප්‍රාය “දියාරු කිරීමේ” අවදානමක් ඇති කරන බවට ඔක්තෝබර් 12 වන දා අනතුරු ඇඟවූ ඊජිප්තු ජනාධිපතිවරයා, “ඔවුන්ගේ භූමියට වී අධිෂ්ඨානශීලීව සීටින” ලෙස පලස්තීනුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

දශකයකට ආසන්න කාලයක් සයිනායිහි ජිහාඩ් කැරැල්ලකට මුහුණදී ඊජිප්තුව, ඉස්ලාමීය සටන්කාමීන් රට තුළට පැමිණීමේ හැකියාව පිළිබඳව ද කනස්සල්ලට පත්ව සිටියි.

රෆා මාරුව සාමාන්‍යයෙන් භාවිත කරන්නේ කෙසේ ද?

පලස්තීනුවන්ට රෆා හරහා ගාසා තීරයෙන් පිටවීම පහසු නැත. හරස් මාරුව භාවිත කිරීමට කැමති පලස්තීනුවන් සති දෙකත් හතරත් අතර කාලයකට පෙර ප්‍රාදේශීය පලස්තීන බලධාරීන් වෙත ගොස් ලියාපදිංචි විය යුතු අතර පලස්තීන හෝ ඊජිප්තු බලධාරීන් විසින් සුළු අනතුරු ඇඟවීමක් හෝ පැහැදිලි කිරීමක් නොමැතිව එය ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකි ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2023 අගෝස්තු මාසයේ දී ඊජිප්තු බලධාරීන් ගාසා තීරයෙන් 19,608 දෙනෙකුට පිටවීමට අවසර දුන් අතර පුද්ගලයින් 314 දෙනෙකු ඇතුළු වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.-BBC

 

පුවත යවන්න