මංගල උත්සව සඳහා ලබාදී ඇති අවසරය අවභාවිතා කරන තත්වයක් පෙනෙන්නට තිබෙන බවත් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළහොත් “මගුල් පොකුරු” ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මගුල් උත්සව සඳහා සහභාගිවීමට ලබාදී ඇති එක සිය පනහේ උපරිම සීමාව ඉක්මවා යමින් කොළඹින් පිට පළාත්වල මංගල උත්සව පවත්වන බවට තොරතුරු ලැබී ඇතැයිද ඔහු සදහන් කළා.
තුන් වැනි කොවිඩ් රැල්ල ආරම්භ වූයේ අවුරුදු සමයේදී ජනතාව වගකීම් විරහිතව කටයුතු කළ නිසා බවත් එම තත්ත්වය සිහියේ තබාගෙන වගකීම් සහිතව කටයුතු කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් යුද හමුදාපතිවරයා කියා සිටියා.
කොළඹින් පිට ප්‍රදේශවල පවත්වන විවාහ මංගල උත්සව සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු සතුටුදායක නැතැයි පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා සමහරුන් අවසර සීමාව ඉක්මවා යමින් මංගල උත්සව පවත්වන බවද ප්‍රකාශ කළා.
රජය සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ ජනතාවට උපරිම වශයෙන් සහන ලබාදීම සඳහා බවත් දෛනිකව ආසාදිතයන් එක් දහස් පන් සියය ඉක්මවා වාර්තා වන පසුබිමක ජනතාව වැඩි අවධානයකින් කටයුතු කිරීම වැදගත් බවත් හමුදාපතිවරයා පැවසුවා.