මැරකම් පරදා ප්‍රජාතන්ත්‍රවාදය දිනුවා / ජේ සී අලවතුවල

අසූ වසරක මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය පවා අගෞරවයට ලක් කරන නීති විරෝධී ආණ්ඩුවේ අප්‍රසන්න හැසිරීම් මධ්‍යයේ වුවද ප්‍රජාතන්ත්‍රවාදයේ හා පාර්ලිමේන්තු ක්‍රමයේ ගෞරවය සුරැකීමට කතානායක කරු ජයසූරිය මහතා කටයුතු කළ බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.

කතානායකවරයකුට පහරදීමට මෙන්ම මිරිස් කුඩු ප්‍රහාර එල්ල කිරීමට තරම් සදාචාරය බිද වැටුණු පුද්ගලයින් රටක් පාලනය කරන්නේ කවර ආකාරයෙන්දැයි රටේම ජනතාවට සජීවීව දැක ගැනීමට අවස්ථාව හිමිවූ බවද ඔහු කියා සිටියා.
පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිවීම හේතුවෙන් ජන්දයකට මතුවූ භීතිකාව මුල් කර ගනිමින් කතානායක අසුන ආක්‍රමණය කිරීමට පියවර ගනු ලැබුවද  බහුතරය නොමැති ආන්ඩුවක කළහකාරී හැසිරීම ලෝකයටම අනාවරණ වූ බවද පාර්ලිමේන්තුවේ සිට මාධ්‍ය අමතමින් ජේ සී අලවතුවල මහතා සදහන් කළා.
ඒ අනුව නිල වශයෙන් විශ්වාසභංග යෝජනාවකින් පරාජයවී ඇති බැවින් මේ වන විට මෙරට ආණ්ඩු පක්ෂයක් හෝ අගමැතිවරයකු නොමැති බව කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත දන්වනු ඇති බවයි ඔහු පවසන්නේ.
මෙහිදී කතානායකවරයා රැක ගැනීම සදහා දැඩි වෙහෙසක් දරා තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ටද සිය ගෞරවය පුද කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
ශ්‍රී ලංකාව ඒකාධිපතිවාදයක් කරා ගමන් කිරීමට ඉඩ දිය නොහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන මෙන්ම ජනතාවත් අද එක් පෙරමුණකට රොද බැද සිටින බවත් අලවතුවල මහතා වැඩිදුරටත් කියා සිටියා.
මෙරට පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකීමට මෙහිදී විශිෂ්ට සේවයක් ඉටු කළ කතානායක කරු ජයසූරිය මහතා ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයක් බවයි ඔහු කියා සිටියේ,