මිහින්තලා පුවරු ලිපියෙන් හෙළිවන අප නොදත් අතීතය

නොවෙනස් වන දෙයක් යමෙකුට වටහා දීමට හොඳම උපහැරණයක් වන්නේ, ‘ගලේ කෙටූ අකුරක් වැනි’ යැයි පැවසීමය. අප මුතුන් මිත්තන් එය අර්ථවත් කර ඇත්තේ වදනක් දෙකක් ගලේ කොටා නොව, හෙළ සංස්කෘතියම මේ යැයි ගලේ කොටා තැබීමෙනි. ශිලා ලේඛනයක් වශයෙන් අරුත් ගැන්වෙන්නේ ගල්තලාවක, ස්ථම්භයක හෝ යම්කිසි පුවරුවක විශේෂ කාරණයක් අරබයා නිර්මාණය කළ කිසියම් වැදගත්කමකින් යුක්ත ලියවිල්ලකි. ක්‍රි.පූ 3 වැනි සියවසේ දී පමණ සිට මෙරට සෙල්ලිපි රචනා කිරීම උදෙසා ලක්වැසියන් පෙලඹී ඇති බව සාක්ෂ්‍ය මඟින් සනාථ වෙයි. ඒ අනුව ලංකාවේ ශිලා ලේඛන ප්‍රධාන වශයෙන් ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි හා පුවරු ලිපි වශයෙන් කොටස් කළ හැකි බව විද්වත් මතය වෙයි. ඒ අතුරින් පුවරු ලිපි විශේෂිත වන්නේ ගල් පුවරුවක සටහන් ලියා ඇති හෙයිනි. කතා මාතෘකාවට අදාළ මිහින්තලා පුවරු ලිපියද අයත් වන්නේ මේ පුවරු ලිපි ගණයටය. අනුබුදු මිහිඳු මාහිමියන්ගේ පාදස්පර්ශය ලබා, ලක්දිව වන්දනීයත්වයට පත් වූ මිහින්තලාව බුදු දහමේ පණිවිඩය ලැබීමත් සමඟ ඉතිහාසයේ රන් අකුරින් ලියැවිණි. පූජනීයත්වයද, පුරාණ ලක්දිව සංස්කෘතියද අන්තර්ගත කර ලියැවුණු ලේඛනයක් වශයෙන් මිහින්තලා සෙල්ලිපිය හඳුන්වා දිය හැකිය. ක්‍රි.පූ. 3 වැනි සියවසේ පටන් ක්‍රි.ව. 1වැනි සියවස දක්වා කාල පරිච්ඡෙදයට වැටෙන සියවස් 4කට අයත් බ‍්‍රාහ්මී සෙල්ලිපි 75ක් පමණ මිහින්තලා භූමියේ ඇත. මෙයින් 58ක් මිහින්තලා කන්දේද, 9ක් රාජගිරි කන්දේද, 8ක් මිහින්තලා ආනයිකුට්ටි කන්දේද පිහිටා ඇත යන්න විද්වත් මතයකි.

ක්‍රි.ව. 10 වැනි සියවසේ දී පමණ මිහින්තලේ ධාතු මන්දිරයට ඇතුළු වන දොරටුව දෙපස, මිහිඳු රජ සමයට අයත් යැයි සැලකෙන පරිදි නිර්මාණය කර ඇති මිහින්තලා පුවරු ලිපිය, ප්‍රශස්තතම ශිලා ලිපි ගණයට අයත් වන්නේ, එමඟින් ලංකාද්වීපයේ එවකට පැවැති ආගමික, සංස්කෘතික, සාහිත්‍ය, දේශපාලනික, සමාජ තොරතුරු රැසක් අන්තර්ගත වී ඇති බැවිනි. උක්ත ශිලා ලේඛන සියල්ලක්ම පාහේ බ්‍රාහ්මී අක්ෂරවලින් නිර්මාණය කර ඇත. ක්‍රි.ව. 10 වැනි සියවසේ දී පමණ මිහින්තලේ ධාතු මන්දිරයට ඇතුළු වන දොරටුව දෙපස රචනා කර ඇති මිහින්තලේ පුවරු ලිපිය, මිහින්තලේ සියලුම සෙල්ලිපි අතුරින් දීර්ඝතම වූත්, ප්‍රශස්තතම වූත් විශාලත්වයෙන් යුතු සෙල්ලිපියකි. පැත්තක පේළි 58 බැගින් යුතු මේ සෙල්ලිපිය, කාණ්ඩද්වයකින් සමන්විතය. සිරිසඟබෝ අභය මහ රජු හෙවත් 4 වැනි මිහිඳු භූපාලයන්ගේ සමයේ මේ මිහින්තලා සෙල්ලිපිය නිර්මාණය වූ බවට සෙල්ලිපියේම සාක්ෂ්‍ය සඳහන්ව ඇත. මෙහි ලංකාද්වීපයේ එවකට පැවැති ආගමික, සංස්කෘතික, සාහිත්‍ය, දේශපාලනික, සමාජ ආදි හසල තොරතුරු සම්භාරයක් අන්තර්ගත වෙයි.

ප්‍රස්තූත සෙල්ලිපියේ අක්ෂරයත්, අඟලත්, අඟල් එකයි කාලත් අතර විශාලත්වයකින් යුක්තය. චිර ප්‍රසිද්ධ තත් ලේඛනය, භික්ෂු ශාසනය පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් ගවේෂණය උදෙසා මහඟු පිටිබලයක් සපයයි. අනුරාධපුර යුගයේ අග භාගයට අයත් මිහින්තලා සෙල් ලිපියේ සිංහල භාෂාව හා සංස්කෘතිය පිළිබඳ සපයා ගත හැකි තොරතුරු රාශියකි. දැනට හමු වන සුවිශාලම සෙල්ලිපි අතුරින් එකක් වන මිහින්තලා සෙල්ලිපිය මඟින්, එම යුගයේ විහාර පාලනයේ සංවිධානාත්මක බව පිළිබඳ මෙන්ම අභයගිරි හා උභය විහාරවල පනවා තිබූ නීතිරීති හා අයබදු සම්බන්ධයෙන්ද, භික්ෂු ශාසනය සම්බන්ධයෙන්ද තොරතුරු හෙළි වෙයි. එසේම, ඊ කාණ්ඩය යටතේ ආරාමික සේවකයන්ට ගෙවන බදු වැටුප් පිළිබඳ සඳහන් කරයි.

ක්‍රි.ව. 10 වැනි ශත වර්ෂය මිහින්තලයේ සෙල්ලිපි සම්බන්ධයෙන් ඉතා සුවිශේෂ වූ කාල පරිච්ඡේදයක් වුවද, අනුරාධපුරයෙන් පොළොන්නරුවට රාජධානි සංක්‍රමණය වීමත් සමඟ මිහින්තලය හා සම්බන්ධව වැදගත් කිසිවක් සිදු නොවීම හේතුවෙන් ඉන් පසුව අභිලේඛන කිසිවක් මිහින්තලයෙන් හමු වී නොමැත. මිහින්තලා පුවරු ලිපිය වැදගත් වනුයේ, ශාසනික වශයෙන් හා ඓතිහාසික වශයෙන් තොරතුරු පර්යේෂණය කිරීමට පමණක්ම නොව, තත් යුගයේ භාවිත භාෂාව පිළිබඳ පෘථුල අවබෝධයක් ලබා ගැනීමටය. මිහින්තලා සෙල් ලිපියේ භාවිත භාෂා ප්‍රවේශය ඓතිහාසික, පුරාවිද්‍යාත්මක මෙන්ම භාෂාත්මක වශයෙන්ද වැදගත් මූලාශ්‍රය ලෙස හඳුන්වා දිය හැකිය. තත්කාලීන සමාජයේ තොරතුරු ඒ අයුරින්ම මේවායේ සටහන්ව තිබීම, සෙල් ලිපිවල අගය තීව්‍රවීමට හේතු පාදක වී ඇත.

අද්‍යතන යුගයේ මෙන්ම ලේඛන කලාව නොදියුණුව පැවැති චිරන්තන අවධියේ සඳහන් කළ යුතු සෑම කරුණක්ම ඉතා කෙටියෙන් හා නිරවුල්ව ශිලාලේඛනය තුළ අන්තර්ගත කිරීමට නිර්මාණකරුවාට සිදු විය. ඔවුන් රළු ගල් තලාව අක්ෂර නිර්මාණය කිරීමට තරම් සුමට වන පරිද්දෙන් සකස් කර, චිරාත් කාලයක් පවතින අයුරින් ඒ තුළ වැදගත් කරුණු අන්තර්ගත කිරීමට වගබලා ගෙන ඇත. සෙල්ලිපි කිහිපයක් හැර සෙසු බහුතරයක්, ප්‍රමාණයෙන් කුඩා වීමට තත් සාධකය හේතු වන්නට ඇති බව උපකල්පනය කළ හැකිය.

“අනුරාධපුර යුගයේ අවසාන භාගය වන විට පැවැති හෙළබස් ආර කෙබන්දක්ද? යන්නත් මේ ලිපියෙන් මැනවින් අවබෝධ කර ගත හැකිය. සිංහල භාෂාව, සංස්කෘත භාෂාව හා මිශ්‍ර වීමට පෙර, හෙළබස් ආර මේ යැයි දක්වන කැටපතක් වැන්න. භාෂා සාහිත්‍ය පිළිබඳ ඉතිහාසය ගැන කරුණු සොයන්නවුන්ට මේ ලිපිය වැදගත්ය ̃යන්නද සෙල්ලිපියේ භාෂාව සම්බන්ධයෙන් වූ විද්වත් මතයයි.

මිහින්තලා සෙල්ලිපියේ භාවිත සුවිශේෂ භාෂා ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී, තදානුබද්ධ සමාජයේ ව්‍යවහාරික භාෂාව පිළිබඳ අවධානය යොමු කළ යුතුය. මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්ගේ යුග බෙදුම්වලට අනුව, ක්‍රි.ව. 8-13 සියවස්, මධ්‍ය සිංහල යුගයට අයත් වේ. මේ සෙල් ලිපියද එම කාලපරිච්ඡේදයට අයත් වන බැවින්, එහි පෙනෙන භාෂා ලක්ෂණද මධ්‍ය සිංහල යුගයේ භාෂා ලක්ෂණ විය යුතුය. මිහින්තලා සෙල් ලිපියටම සුවිශේෂ වූ භාෂා ලක්ෂණ කීපයක්ද මෙමඟින් දැක ගැනීමට හැකි වේ. මෙතෙක් සිංහල භාෂාවේ දක්නට නොලැබුණු ‘සරඅත් හලත් වෙසෙස ̃හෙවත් ස්වරාන්ත හලන්ත’ වෙනස මේ සෙල් ලිපියේ දක්නට ලැබේ. සමකාලීන සමාජයේ ස්වරාන්ත අක්ෂරවලට වඩා හලන්ත අක්ෂර භාවිතයට ගෙන තිබීමෙන්, එකළ ලේඛකයන් ස්වරාන්ත වචනවලට වඩා හලාන්ත වචනවලට ඇල්මක් දැක්වීම හෝ ස්වකීය පාණ්ඩිත්‍ය ප්‍රකට කරනු වස් භාෂාව මෙලෙස යෙදුවේ දැයි සිතිය හැකිය.

මේ කඨෝර භාෂා යෙදීමත් සමඟ සාම්ප්‍රදායික ව්‍යාකරණය තුළ එතෙක් දක්නට නොලැබුණු ‘ඇ’ කාර ව්‍යාකරණය භාවිතය හා ඒ සඳහාම වෙන් වූ සංකේතයක් හඳුන්වා දීම මිහින්තලා පුවරු ලිපියෙන් දක්නට ලැබේ. ‘ඇ’ කාර භාවිතයේ සංවර්ධනීය අවස්ථාවක් පිළිබිඹු කරන්නක් ලෙසද මේ ශිලා ලේඛනය හඳුන්වා දිය හැකිය. ‘ඇ’ කාර බහුලව යොදාගෙන ඇති බැවින් මධ්‍ය සිංහල යුගයේ භාෂාව තරමක් උච්චාරණයට අපහසු කඨෝර භාෂාවක් බව සනාථ වේ. සාමාන්‍ය සාම්ප්‍රදාය නම් සඤ්ඤක අක්ෂර හල් නොකිරීමය. එහෙත් මේ සෙල් ලිපියේ එවැනි අක්ෂර හල් කර තිබේ. සඤ්ඤක අක්ෂර හල් වීමේ දී ඒ වෙනුවට බින්දුව හෙවත් අනුස්වාරය යෙදීම සාමාන්‍ය රීතියයි. මිහින්තලා පුවරු ලිපියේ තත් සම්ප්‍රදාය අතික්‍රමණය කර ඇති බවක් දක්නට ලැබේ.

එමෙන්ම සෙල්ලිපිය තුළ අනුනාසිඛ්‍යාක්ෂරවල බිහි වීම, වර්ධනය හා මුහුකුරා යෑම යන ලක්ෂණත්‍රයම දක්නට ලැබේ.

විභක්ති සූචක අපර නිපාත යෝගය මධ්‍ය සිංහල යුගයට පෙර භාවිත වී නැත. මිහින්තලා සෙල්ලිපිය තුළද ‘ඝ’, ‘ජ’ වීම පමණක් නොව, අක්ෂරද්වයම මිශ්‍රවද තිබෙනු දක්නට ලැබේ. මේ යුගයේ භාෂාවේ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයක් නම්, පාදාන්ත ගාත්‍රාක්ෂර හල් වීමය. එහි දී පාදාන්ත ‘හ’ කාරය හැර අනෙක් සියලු අක්ෂර හල් වේ. මෙය මධ්‍ය සිංහල යුගයට සුවිශේෂ වූ ලක්ෂණයකි. උච්චාරණ අපහසුව නිසා පාදාන්ත ‘හ’ කාරය හල් නොවූ බව සිතිය හැකිය. අද්‍යතන යුගයේ පවා ‘හ’ කාර හල් නොවේ. පූර්වක්‍රියා හා අතීත කෘදන්ත සමව යෙදීම බොහෝවිට පූර්වක්‍රියා පදයට සමාන ලෙස අතීත කෘදන්ත පදය භාවිතයට ගෙන ඇති බවට උදාහරණ මිහින්තලා සෙල්ලිපිය මඟින් සනාථ වේ. උදා : “ලක්දිව පහයමින් සිටැ සිරිසඟබොය් අබහය් මහරජ්හු’’ ̃ මෙහි දී ‘පහයමින් සිටැ’ යන පද ද්වය අතීත කෘදන්තයක් වශයෙන් යෙදී ඇත.

මහප්‍රාණ අක්ෂර බහුලව යොදා ගැනීම ප්‍රාකෘත යුගයේ පැවැති ලක්ෂණයකි. මිහින්තලා සෙල් ලිපියට අනුව දීර්ඝ ස්වර මෙන්ම හ‍්‍රස්ව ස්වරද භාවිතයට ගෙන ඇති බව විද්‍යාමාන ලක්ෂණයකි. මේ ලිපියට අනුව ‘ච’ කාර වෙනුවට ‘ස’ කාරය බහුලව යොදා ඇති බව දැකිය හැකිය. සෙසු සෙල්ලිපිවලට සාපේක්ෂව මිහින්තලා සෙල්ලිපියට පමණක්ම සුවිශේෂ වූ භාෂා ලක්ෂණද දක්නට ලැබේ. මෙහි එන ‘බිම්සොවස්’ යන පදය එයින් එකකි. වර්තමානයේ ණ, න, ළ, ල භේදය පිළිබඳ විද්වත් පර්ෂදයේ අවධානය ලැබී ඇති බව පෙනේ. ශිලා ලේඛනවල පවා උක්ත වියරණ විධි භාවිතයට ගෙන ඇති බවට හොඳම උදාහරණය වන්නේ මිහින්තලා සෙල් ලිපියයි. සමස්තයක් වශයෙන් සලකා බලන කල්හි මිහින්තලා පුවරු ලිපියේ අක්ෂර වින්‍යාසය, පද බෙදීම ආදිය පිළිබඳ සංදිග්ධතා මතු කරයි.

මධ්‍ය සිංහල යුගයේ භාෂා ලක්ෂණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගනු වස්, මිහින්තලා සෙල්ලිපිය මහෝපකාරී වන, මිහින්තලා පුවරු ලිපියටම පමණක් සුවිශේෂ භාෂා ලක්ෂණ අවබෝධ කර ගැනීමටද මෙය ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් මුල් කාලීන වියරණ විධි පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති කර ගැනීම උදෙසාද මිහින්තලා සෙල්ලිපිය වටිනාකමින් අගනේය. උක්ත කරුණු අනුව තත්කාලීන ඓතිහාසික තොරතුරු සඳහා මෙන්ම භාෂා භාවිතය හා ව්‍යාකරණාංග පිළිබඳ පෘථුල අවබෝධයක් ලබා ගැනීමට මිහින්තලා පුවරු ලිපිය ප්‍රයෝජනවත් වන බව නිගමනය කළ හැකිය.

ඉෂාරා සඳරේණු
කැලණිය විශ්වවිද්‍යාලය

පුවත යවන්න