දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළගාවෙමින් තිබෙනවා / රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

ඇය සඳහන් කළේ තරුණ ප්‍රජාවට වැඩි සංකූලතා පැමිණීම ඊට හේතුවී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දැඩි සත්කාර ඒකක ඇදන් ප්‍රමාණය 700ක් පමණ වන බව වෛද්‍ය සැපයුම් අංශය සදහන් කළා.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ නව ඇඳන් 70ක් පමණ ප්‍රමාණයක් ඊට එක් කර ඇති බවයි අමාත්‍යවරිය පවසන්නේ.

මෙතෙක් ක්‍රියාත්මක නොවූ දැඩි සත්කාර ඒකක සඳහා වහාම කාර්ය මණ්ඩල අනුයුක්ත කරමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත දන්වා ඇත්තේ දැඩි සත්කාර ඒකක පුහුණුව ලැබූ කාර්ය මණ්ඩල වෙනත් වාට්ටු තුළ සිටී නම් අවශ්‍යතාවය පරිදි ඔවුන් දැඩි සත්කාර ඒකක වෙත අනුයුක්ත කරන ලෙසයි.

ඊට අමතරව හයිෆ්ලෝ ඔක්සිජන් යන්ත්‍ර සහිත රෝහල් ඇදන් ප්‍රමාණයත් වැඩිකරමින් පවතින බව වෛද්‍ය සැපයුම් අංශ සදහන් කළා.

දැනට රෝහල් ගතකර තිබෙන විශාල රෝගීන් ප්‍රමාණයකට ඔක්සිජන් සැපයුම ලබා දීමට සිදුව තිබෙනවා.

මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ ඔවුන් සතුව පවතින ඔක්සිජන් ප්‍රමාණය තහවුරු කර දැනුම්දෙන ලෙසයි.

පුවත යවන්න