මෛත්‍රීගේ නිල නිවස සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කොළඹ මහගමසේකර මාවතේ නිල නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අදාළ ඇමති මණ්ඩල තීරණය අනුව කටයුතු නොකරන ලෙස දන්වමින් වගඋත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් ද නිකුත් කෙරුණා.

එම තහනම් නියෝග අද සිට සති 4කින් පසුව ක්‍රියාත්මක වන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ. අතුරු නියෝග පෙත්සම් විභාග අවසන් වන තෙක් බලපැවැත්වෙන බවද අධිකරණය සදහන් කළා. පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබුණේ  මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටියදී භාවිත කළ නිල නිවස විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුට ලබා දීමට ඔහුම ප්‍රධානියා ලෙස කටයුතු කළ ඇමති මණ්ඩල රැස්වීමකදී තීරණයකර ඇති බවයි.  එය බලය අයුතු ලෙස පරිහරණය කිරීමක් මෙන්ම ආදාළ නිවස අලුත්වැඩියාවට රුපියල් මිලියන 180ක මහජන මුදල් වැය කර ඇති බවද පෙත්සමේ සදහන් කර තිබුණා. පෙත්සමට අදාළ අතුරු ඉල්ලීම පිළිබද විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තෆා මහතා කරුණු දැක්වුවා. මෙම නිවස සදහා අයවැය තුළින් පාර්ලිමේන්තුව මුදල් ප්‍රතිපාදන අනුමත කර ඇතිබවත් අතුරු නියෝගය ක්‍රියාත්මක කළ හොත් සිය සේවා දායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් මතුවිය හැකිබවත් ඔහු සදහන් කළා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම නිවස සදහා පාර්ල‌ිමේන්තුව මගින් ප්‍රතිපාදන වෙන් කර ඇති බවට කෙරෙන ප්‍රකාශ අසත්‍ය බවයි.  අධිකරණයට සුදුසු යැයි හැගෙන නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා ඉල්ලා සිටියා. අනතුරුව කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අතුරු නියෝග නිකුත් කළා. පෙත්සමට අදාළ විරෝධතා ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල එය විභාගය සදහා මැයි 18 වනදා කැදවන ලෙසද නියෝග කළා.

පුවත යවන්න