“යුක්තියේ යාත්‍රාව” ජයග්‍රහණයේ සලකුණයි / ජේ සී අලවතුවල

දේශපාලන අස්ථාවරත්වයක් රට තුල ඇති කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමට ජාති ආගම් භේදවලින් තොරව ජනතාව එක්ව සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.එක්සත් ජාතික පක්ෂය කොළඹින් ආරම්භ කළ යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය අද කතරගම ඔස්සේ මහියංගනයට ගමන් ඇරඹීම පිළිබද අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ වන විට රටට දැවැන්ත ආර්ථික හානියක් මෙන්ම අපකීර්තියක්ද එක් කළ මෙම දේශපාලනික කුමන්ත්‍රණය අසාර්ථක එකක් මෙන්ම ඉතා ඉක්මනින් පරාජයට පත්වන එකක් බවයි අලවතුවල මහතා සදහන් කළේ.
මේ වන විට ජාතිවාදය වැනි කරුණු පවා අවුලුවමින් එම කණ්ඩායම විසින් දේශපාලනික කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමට උත්සාහ දරන බවද ඔහු කියා සිටියා.
සබුද්ධික ජනතාව එවන් උත්සාහයන්ට ඉඩ නොදෙමින් රට යළි නිසි මාවතට ගෙනයාමට සහාය ලබාදෙන බවයි අලවතුවල මහතා වැඩිදුරටත් කියා සිටියේ.

යුක්තියේ යාත්‍රාව අද ගමන් ආරම්භ කෙරුනේ වැව්රුකන්නල රජමහා විහාරය අසලිනුයි..

ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු යන්න තේමා කරගනිමින්, යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය ඊයේ පෙරවරුවේ කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් ආරම්භ වූ අතර මොරටුව, කළුතර, අලුත්ගම, අම්බලන්ගොඩ, ගාල්ල පසුකරමින් රථ පෙළපාලිය ඊයේ රාත්‍රියේ මාතර නගරයට ළඟා වුණා.