රුපියල ශක්තිමත් බව කීම මිථ්‍යාවක් බවත් එම මිථ්‍යාව දේශපාලන අරමුණක් වෙනුවෙන් සකස් කරන ලද්දක් බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති පසුගියදා මාධ්‍ය හමුවකදී පැවසුවේය.
මේ රුපියලේ කතාව ආර්ථිකය ශක්තිමත් කිරීමේ දිශාවකට ගෙනයනවාට වඩා ඉදිරියේදී ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය කර ගන්න, ඉදිරියේදී පැමිණිය හැකි ප්රතිවිරෝධතා කළමනාකරණය කර ගන්න සහ විශේෂයෙන් ජනතාව නොමඟ යවන්න කෘත්‍රිමව නිර්මාණය කරන ලද තත්ත්වයක් වෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියට අදාළ මූල්‍ය වෙළඳ පොළේදී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ පාවෙන ආර්ථිකයක් හෝ පාලිත ආර්ථිකයක් නෙමෙයි. පාවෙන පාලිත ආර්ථිකයක්. මේ ආර්ථික තත්ත්වය හදාගෙන තිබෙන්නේ ආණ්ඩුවට අවශ්‍ය වූ විට පාකරන්න සහ තමන්ට අවශ්‍ය වූ විට තදකිරීමටයි. දැන් විනිමය පාවෙන්නෙත් නැහැ. පාලිතභාවයකට ගෙනැල්ලත් නැහැ. එය තීරණය කරන්නේ මහ බැංකුවයි. දැන් මහ බැංකුව එසේ කරන්නේ සමස්ත ආර්ථිකය ගැන නොසිතා දේශපාලන වුවමනාව වෙනුවෙන්. මහ බැංකුවේ කිසිදු ස්වාධීනත්වයක් දැන් නැහැ. ඔවුන් එසේ කරන්නේ ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයත් එක්ක යැයිද හෙතෙම කීවේය
රුපියල ශක්තිමත්ද? නැද්ද?
රුපියල ශක්තිමත්ද නැද්ද? මේ ගැන විවිධ පුරසාරම් දොඩන්නට සමාජ විචාරකයන් දේශපාලඥයන් මෙන්ම මුහුණු පොත භාවිත කරන්නන්ද කටයුතු කර තිබේ.
මේ අතර රුපියල ශක්තිමත් බව පැවසීම මිථ්‍යාවක් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති පසුගියදා ප්‍රකශ කළේය.
එම නිසා මේ සම්බන්ධයෙන් අපි ආර්ථික විශාරදයන් කිහිප දෙනෙකුගෙන් අදහස් විමසුවෙමු. මේ ලිපිය ඔවුන් විසින් රුපියල ශක්තිමත් වීම හා ඩොලරය සම්බන්ධව දැක්වූ අදහස් ඇසුරින් සකස් කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිලක් සුබසිංහ පැවසුවේ වර්තමානයේ මෙරට රුපියල ඉහළ ගොස් ඩොලරය පහළ යාම කිසිවකු විසින් කරනු ලබන මැජික් ක්‍රියාවක් හෝ ව්‍යාජව සිදු කරන්නක් නොවන බවයි. එසේ ඩොලරය ඉහළ පහළ යැවීම කිසිවකුට මවා පාන්නට නොහැකි බවයි.
“සාමාන්‍යයෙන් ලෝකයේ විනිමය හුවමාරු මාධ්‍යයක් එහෙමත් නැත්නම් හුවමාරු භාණ්ඩයක් ලෙසින් තමයි ඇමෙරිකන් ඩොලරය භාවිතා වන්නේ. එහි අගය තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි.
ඩොලරයට ඇති ඉල්ලුම වැඩි වුණහම එහි වටිනාකම ඉහළ යනවා වගේම ඉල්ලුම අඩුවුණහම මිල පහළ යනවා.
මේ වෙනකොට මෙරටට ඩොලර් ලැබීමේ නැත්නම් ඩොලර් ඉතුරුම් වැඩි වෙමින් තියෙන්නේ. රජය විසින් රාජ්‍ය සේවකයන්ට අඛණ්ඩ සේවා කාලයක් යටතේ විදේශ ගත වන්නට ලබා දුන් චක්‍ර ලේඛය නිසා සැලකිය යුතු පිරිසක් රට ගියා. ඒ බොහෝ අය රට ගියේ ණය වෙලා. ඒ නිසා ඉක්මනින් ඔවුන් ලබන වැටුප් එවන්න වුණා. ඒ විදිහට සැලකිය යුතු ලෙසින් විදේශගත ශ්‍රමිකයන්ගෙන් එන ඩොලර් මුදල් ප්‍රමාණය වැඩි වුණා.
ඒත් එක්කම අපනයනයන්ගෙන් ලැබෙන ඩොලර් ආදායමින් 25%ක් ඩොලර් බැංකුවලට ලබා දී රුපියල් ලබා ගැනීමේ ප්‍රතිශතය 15%ක් දක්වා අඩු කිරීමෙන් තවත් 10%ක ඩොලර් ප්‍රමාණයක් ඉතිරි වුණා. ඒ වගේම පසුගිය වසරේ අප්‍රේල් මාසෙ ඉඳල අපි ණය ගෙවීම් නතර කළා. එයින් ණය වගේම පොලී මුදල් නොගෙවීම නිසා අපට එතැනිනුත් ඩොලර් ඉතිරි වුණා.
ඒ වගේම අපනයන භාණ්ඩ අමුද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් වෙන් කරන මුදල් වෙනුවට මුදල් තැන්පත් කිරීමටත් බොහෝ ව්‍යාපාරිකයන් වගේම තැන්පත්කරුවන් කටයුතු කළා. එයට හේතුව වුණේ භාණ්ඩාගාර බිල්පත්වල පොලී ප්‍රතිශතය 36%ක් වගේ අධික අනුපාතයකට ඉහළ යාමයි. මේ කරුණු නිසා පැහැදිලිවම කියන්න පුළුවන් වෙළෙඳ පොළේ හැසිරීම අනුව තමයි මේ ලෙසින් රුපියලේ වටිනාකම වැඩි වුණේ කියල. ඔය විදිහටම තමයි ප්‍රාථමික වෙළෙඳ පොළක වුණත් ක්‍රියාකාරීත්වය රඳා පවතින්නෙ.
ඒ නිසා පැහැදිලිවම කියන්න පුළුවන් වෙන්නෙ ඩොලරය ඉහළ පහළ යන්නේ කවුරුත් කරන මැජික් වැඩක් නැත්නම් මවා පෑමක් නිසා නොවන බවයි‘‘
වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේද ආර්ථිකය දෙස නිවැරැදිව බලා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි.
‘‘දේශපාලන දෘෂ්ටිකෝණයෙන් බැලුවොත් තමයි එක එක විදිහට මේ තත්ත්වය පේන්නෙ. ඉල්ලුම හා සැපයුම කියන සරල සිද්ධාන්තය තමයි මේ විනිමය අනුපාතයට බලපා තියෙන්නෙ.
ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළ යාමට නම් ඩොලර් සැපයුමේ ඉහළ යාමක් හෝ ඩොලර් ඉල්ලුමේ පහළ යාමක් තියෙන්න ඕන. අපේ රටේ ආනයන යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙන නිසා ඩොලර් ඉල්ලුමේ යම් අඩුවක් තියෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයෙන් වගේම විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ වැඩිවීමත් නිසා ඩොලරයේ අගයේ පහත යාමක් දක්නට පුළුවන් වුණා. නමුත් රුපියලේ ඉහළ යාමට වැඩි වශයෙන් හේතු වූ සාධක ලෙස මා දකින්නේ ජනතාවගේ බලාපොරොත්තු හරහා ඇති වුණු ආර්ථික ධාරාවයි.
විශේෂයෙන්ම අප දන්නවා ලබන මාසෙ මුල හරියෙ ලෝක බැංකුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 725ක විතර අපට මූල්‍ය දායකත්වයක් ලැබෙනවා. ඒ වගේම ලෝක බැංකුවෙන්ම තවත් ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5ක මුදලක් අපට ලැබෙන් නියමිතයි. ඊට අමතරව ජපන් ජයිකා ආයතනයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1.4ක් ලැබීමට නියමිතයි. එසේම මේ වෙනකොට ඉන්දියාව සමඟ කළ සාකච්ඡාවලින් පසුව අපට ඩොලර් බිලියනයක් වගේ මුදලක් ලැබීමට නියමිතයි. එවන් තත්ත්වයක් තුළ අපේ ආර්ථික පිබිදීමක දියුණුවක ලකුණු තියෙනවා. ඒ ලකුණු හරහා ආර්ථිකයේ මේ වර්ධනය ඇතිවීමේ ලකුණු පහළ වෙලා තියෙන්නෙ.
ඒත් එක්කම මේ වෙනකොට අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සුබ ප්‍රතිචාර ලැබී තියෙන්නෙ. ඒ සහාය ලැබුණු විගස අපි ණය ගෙවීමේ ශ්‍රේණිගත කිරීමෙන් පහළ වැටී ඇති තත්ත්වය ඉහළට එනවා. එවිට අපට හකියාව ලැබෙනවා ලෝක වෙළෙඳ පොළට යන්න. අපි බංකොළොත් භාවයෙන් මිදෙනවා.
ඒ තත්ත්වය හරහා අපට ඩොලර් ලැබෙයි යන විශ්වාසය නිසා හංඟා ගෙන තිබුණු ඩොලර් එළියට ආවා. ඒ නිසා වෙළෙඳ පොළට ඩොලර් සැපයුම වැඩිවුණු නිසා මේ ලෙසින් රුපියල ශක්තිමත් වුණා. අපට ලබන මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහනය ලැබුණහොත් තවත් ශක්තිමත් තත්ත්වයකට අපට ළඟා වන්න පුළුවන්. රුපියල් 200කට ආසන්න අගයක සිට රුපියල් 370ක් පමණ මිලකට ඉහළට ඩොලරය ඉහළ ගියා වගේම ඒ ඉහළ යාම පහළ යන්නත් අපේ ආර්ථික වටාපිටාව බලපානවා. ආර්ථික විද්‍යාඥයන් ලෙස අපට පෙන්වා දිය හැක්කේ එයයි‘
රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආර්.එම්. එන්. සී. ස්වර්ණපාලි පවසන්නේ අපට පෙනෙන්නට යම් ආකාරයක ආර්ථික වර්ධනයක් තිබෙන බවයි.
“දත්ත පැහැදිලිවම නැතුව අපට ආර්ථිකයේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න අමාරුයි. ඒ වුණත් රජය පෙන්වා දෙන විදිහටත් අපට පෙනෙන්න තියෙන විදිහටත් ආර්ථිකයේ වර්ධනයක් තියෙන බව පේනවා.
විශේෂයෙන්ම විදෙස් ප්‍රේෂණ ගලා ඒම හා සංචාරකයන්ගේ පැමිණීමක් දක්නට තියෙනවා. රටේ ආනයනවල ඇති පාලනයත් නිසා අපේ ඩොලර් සංචිතයේ වැඩිවීමක් දක්නට තියෙනවා.
ඒ වගේම ධනාත්මකව මේ ආර්ථික වර්ධනය දෙස බලන්න මම උත්සාහ කරනවා. විශේෂයෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න රජය යම් උත්සාහයක් දරන බව පේනවා. ඒ නිසා සුබවාදීව ඒ දෙස බැලීමටයි මම කැමති.
සැඟවුණු ඩොලර් එළියට ඒමත් මේ ලෙසින් රුපියල ශක්තිමත් වීමට බලපෑවා කියල මම විශ්වාස කරනවා.
ඒත් එක්කම පැවසිය යුතුයි රජයේ බදු ගැන, බදු අය කිරීම කළ යුතුයි. ඒ වුණත් ඒ බදු අය කිරීම සම්බන්ධව පැහැදිලි ක්‍රමවේදයක් දින වකවානුවක් ජනතාවට ලබා දෙනවා නම් ජනතාව ඒකට කැමතියි. එහෙම නොවුණොත් ආර්ථිකයේ තවත් අර්බුද ගැටලු මතුවෙන්න පුළුවන්.
උදාහරණයක් හැටියට අපි කවුරුත් දන්නවා යුද්ධය පැවැති සමයේ ආරක්ෂක බද්දක් ගත්තා. කවුරුත් ඒ ගැන කිසි දෙයක් කිව්වෙ නැහැ. මොකද යුද්ධය නිසා කවුරුත් දැන ගත්තා යම් කැපවීමක් කැප කිරීමක් කළ යුතුයි කියා. ඒ වගේම මේ ආර්ථික අර්බුදය හේතුවෙන් යම් කාල සීමාවක් පෙන්නුම් කර ඒ දක්වා කැප කිරීම් කළ යුතු බව පවසනවා නම් ඒ හරහා සේවකයන්ගේ කැප කිරීම් බලාපොරොත්තු වන්න පුළුවන්.
‘‘රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකාර හා මූල්‍ය පීඨයේ මහාචාර්ය සමන්ත කුමාර පවසන්නේ රුපියලේ අගය ඉහළ යාමට මෙන්ම ස්ථාවරව තබා ගැනීමට නම් අපනයන හා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතු බවයි.
“රුපියලේ අගය ස්ථාවරය තබා ගන්නට නම් අනිවාර්යෙන්ම අපනයන හා සේවා ආර්ථිකයක් ස්ථාපිත කළ යුතු වෙනවා. රුපියල යම් ආකාරයකින් වැඩි වුණා. ඒක සාමාන්‍ය නැත්නම් තාවකාලික දෙයක් වන්නට පුළුවන්. එය ස්ථාවරව තබා ගන්නට නම් අනිවාර්යෙන්ම අපේ නිෂ්පාදන ආර්ථිකය වැඩි කර අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුමයි.
රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ඉහළ යාම දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතිකව අපගේ ආර්ථිකයට බලපානවා. ඒ නිසා අප කළ යුත්තේ එම අගය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි ක්‍රියාමාර්ග ගැනීමයි. විශේෂයෙන්ම මේ වනවිට අපට යම් ඩොලර් ප්‍රමාණයක් වැඩිපුර ලැබීම නිසයි රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත්තේ.
ඒ තත්ත්වය වර්ධනය කළ හැකි සේවා හා අපනයන ආර්ථිකයක් කරා අප යා යුතුයි. පෙනෙන හා දැනෙන ආර්ථික වර්ධනයක් අපට අවශ්‍ය වනවා. එසේ නොවුවහොත් පෙර රුපියල් 202ට තිබූ ඩොලරය රුපියල් 365ක් පමණ දක්වා ඉහළ ගියා සේ යළිත් ඉහළ යන්නට පුළුවන්.‘‘
විශේෂයෙන්ම අප තේරුම් ගත යුතුයි විනිමය අනුපාතය ඉහළ පහළ යන්නේ ආර්ථිකයේ හැසිරීම අනුව බව‘‘ –
තාරක වික්‍රමසේකර