රුසියානු “ඒරෝෆ්ලොට්” ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය අත්හිටුවන ලෙස එම රුසියානු ගුවන් සමාගම අද (03) කොළඹ වාණිජ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව අධිකරණය නියම කළේ ඉදිරිපත් කර ඇති අදාළ ඉල්ලීම පිළිබඳව විභාගය මේ මස 8 වනදා සිදුකිරීමටයි.
මෙම නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවා තිබුණා.
අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විසින් ඊයේ (02) වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙත මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණා.
මෙම වාරණ නියෝගය ලබන 16වනදා දක්වා බලපැවැත්වෙන බවද එම නියෝගයේ සඳහන් වෙයි.
ඒ අනුව මෙම නඩුවේ දෙවන වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ගමන් පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අද අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා.
ඔහු සඳහන් කළේ අන්තර්ජාතික ගිවිසුම් හා ද්වි පාර්ශ්වික එකඟතාවයන්ට අනුව අන්තර්ජාතික ගුවන් යානාවලට ශ්‍රී ලංකාවේ ගොඩබෑමට සහ පිටත්ව යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවයි.
එසේ ගොඩබස්වන ලබන ගුවන්යානාවලට යළි පිටත්ව යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂවරයාට නීතියෙන් බලය පැවරී තිබෙන බවත් එබැවින් මෙවැනි වාරණ නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.
ඊයේ (02) දින අධිකරණ විසින් වාරණ නියෝග නිකුත් කිරීමෙන් පසුව අධිකරණයේ පිස්කල්වරයා ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් අදාළ ගුවන් යානයේ ගමන අත්හිටුවන ලෙස දන්වා තර්ජනය කර තිබෙන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පැමිණිලි කර සිටියා.
එහිදී වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ප්‍රකාශ කළේ මෙම නඩුකරය හරහා එහි දෙවන විත්තිකරු වශයෙන් නම්කර සිටින කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ගමන් පාලකවරයා වෙත වාරණ නියෝග කිසිවක් නිකුත් කර නොමැති බවයි.
රුසියානු ‘ඒරෝෆ්ලොට්’ ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඊයේ දින අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය හේතුවෙන් අදාළ ගුවන් යානයෙන් මොස්කව් බලා පිටත්ව යාමට සිටි මගීන් 191 දෙනෙකුට සහ කාර්යමණ්ඩලයේ 32 කට ශ්‍රී ලංකාවෙන් පිටව යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙන බව සඳහන් කළා.
එම පිරිස විවිධ හෝටල්වල රඳවා තැබීමට තම සේවාදායක සමාගමට සිදුව තිබෙන බව පෙන්වා දුන් එම නීතිඥවරයා ඒ හරහා අතිවිශාල පාඩුවක් දැරීමට සිදුව තිබෙන බවත් පෙන්වා දී තිබුණා.
පැමිණිලිකාර සමාගම ඉදිරිපත් කළ පදනම් විරහිත කරුණු සැලකිල්ලට ගෙන මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙන බවත් එය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් රුසියානු ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව කරුණු සලකාබැලූ අධිකරණය අදාළ වාරණ නියෝගය අත්හිටුවන ලෙසකර තිබෙන ඉල්ලීම පිළිබඳ විභාගය මේ මස 8 වනදා සිදු කරන බව නියෝග කළා.
ඊට පෙර විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය විසින් මෙම නඩුව ගොනු කළ අයර්ලන්ත සමාගමට නියෝග කළා.
පැමිණිලිකාර සමාගම සඳහන් කරන්නේ වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම සමග තමන්ගේ බේරුම්කරණ නඩුවක් පවතින බවයි.
එබැවින් වගඋත්තරකාර ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් ඉවත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පැමිණිලිකාර සමාගම අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.