රෝගීන් 7 දෙනකුට ජීවය දී ජීවිතයෙන් සමුගත් කුරුණෑගල සිසුවිය

හදවත සහ පෙණහලු යන ශරීර අවයව දෙකම රෝගියකු සඳහා එකවර බද්ධ කිරීමට ශ්‍රී ලංකාවේ දී කරන ලද ප්‍රථම සැත්කම කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කළ බව ඔබේ මතකයේ ඇති.

ඒ සඳහා හදවත සහ පෙණහලු ලබා දී තිබුණේ , මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්වූ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ සිසුවියයි.

මීට පෙර සැත්කම් සිදු කර තිබුණේ එම අවයව වෙන වෙනම බද්ධ කිරීම වුවද එකවර එවැනි අවයව බද්ධ කිරීමේ සැත්කමක් මෙරටේ දී සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්..

මීට අමතරව ඇයගෙන් ලබා ගත් වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කර තිබුණා.

එමෙන්ම ඇයගෙන් ලබා ගත් අක්මාව සහ අක්ෂි පටලද තවත් පුද්ගලයන් තිදෙනෙකුට නීරෝගි ජීවිතයක් ලබා දී ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අනුව විහඟනාගේ සිරුරෙන් ලබා ගන්නා ලද අවයව කොටස් 5කින් පුද්ගලයන් හත් දෙනෙකුටම නැවත ජීවය ලැබුවා .

විහඟනා සිසුවිය අඹන්පොළ නගරයේ පදිංචි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක බාලම දරුවායි

හදිසියේ ඇතිවූ හිසේ අමාරුවක් හා වමනයක් හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා පසුගිය දා (17) ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි දී ඇගේ රෝගී තත්ත්වය බරපතළ වීම හේතුවෙන් එදිනම රාත්‍රියේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර කෙරුණා.

කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටද අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ විහඟනා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්නද එහි දී සිහිය නොලබාම ඇය ජීවිතයට සමු දී තිබුණා.

මොළයේ හටගෙන තිබූ පිළිකාවක් නිසා මොළය මිය යාම හේතුවෙන් ඇය මරණයට පත්ව තිබූ බවයි වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

පසුව පවුලේ සාමාජිකයන්ගේ කැමැත්තට අනුව විහඟනාගේ සිරුරේ අවයව අසාධ්‍ය රෝගීන්ට දන් දීමට පියවර ගෙන තිබුණා.

පුවත යවන්න