ලංකාවේ හදන කුරුඳු සිගරැට් එක කොහෙද ගන්න තියෙන්නේ? මෙරට දූම පානය කරන්නන් අතරේ නිතර අසන්නට ලැබෙන පැනයකි. දුම්බීම යනු සමස්ත ලෝකයම මුහුණ දී සිටින සෞඛ්‍ය අර්බුදය අතරින් පළමු පෙළේ ගැටලුවක් බව පළමුව කිව යුතුය. එම නිසාම කවරාකාරයේ දූම පානයක් වුවද අයහපත් සෞඛ්‍ය පුරුද්දක් බැව් සිත තබා මෙම කතාව ඔබ කියවා ගත යුතුය.
දේශීයව නිෂ්පාදනය කරන ආයුර්වේදීය කුරුඳු දූම පානයක් ලෙස නම් වූ මෙම සිගරැට් පැකැට්ටු බොහෝ දෙනකු දුටුවේ සමාජ මාධ්‍යයෙනි. ඉන් අනතුරුව මේ පිළිබඳ විවිධාකාරයේ පුවත් ද පළ විය. මෙම නිෂ්පාදන තහනම් වීමට යන බවද බහුජාතික සමාගමක් සමඟ ගැටුමක් නිර්මාණය වී ඇති බවද කියැවිණි. ඒ අනුව කුරුඳු සිගරුට්ටුවේ සත්‍ය කතාව සොයා යන්නට අපි තීරණය කළෙමු.
මෙම නිෂ්පාදනය හඳුන්වා දෙන ආයතනය කුරුඳු සිගරැට් හඳුන්වා දෙන්නේ Lion Hart වෙළෙඳ නාමය ඔස්සේය. කෙසේ නමුත් කලක සිට Ceylon Spices වෙළෙඳ නාමය ඔස්සේ මෙම ආයතනය අපනයන කටයුතුවල නිරත වී තිබේ.
ඒ අනුව කුරුඳු පොල්තෙල් ඇතුළු විවිධ ද්‍රව්‍ය ඔවුහු එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව ආදී රටවලට අපනයනය කරමින් සිටිති. මෙම සිගරැට් නිෂ්පාදන සඳහා ඔවුන් පෙළඹී තිබෙන්නේ එවන් පසුබිමකය. පළමුව සියයට සියයක්ම කුරුඳු සිගරැට් නිෂ්පාදනය සඳහා වන පේටන්ට් බලපත්‍රය ඔවුහු ලබාගෙන සිටිති. අනතුරුව කුරුඳු සිගරැට් නිෂ්පාදනය සිදුකර ඇත්තේ අපනයනය ඉලක්ක කර ගනිමිනි. ඒ අනුව මෙම නිෂ්පාදන එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව ආදී රටවලට ඔවුහු අපනයනය කරමින් සිටිති.
කෙසේ නමුත් පසුගියදා දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා වන වෛද්‍ය, ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා කුරුඳු සිගරැට් නිෂ්පාදනය වහාම නතර කරන්නැයි ලිඛිතව අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී තිබේ. මෙම පුවතට සම්බන්ධව විශාල අවධානයක් ද ලැබුණි. ඒ සමඟම සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට අපි උත්සාහ කළෙමු. කෙසේ නමුත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. එහෙත් මේ සම්බන්ධව යූ-ටියුබ් නාලිකාවට ඔහු මෙලෙස පැහැදිලි කර තිබුණි.
“මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය, දුම්කොළ සහ මද්‍යසාරවලින් ආරක්ෂා කිරීමේ වගකීම අපගේ අධිකාරියට තිබෙනවා. අපේ පනතේ 2006 ඉඳලම තිබෙනවා, දුම්කොළ නිෂ්පාදනයක් සේ දර්ශනය වන දුම්කොළ නිෂ්පාදනයක් නොවන යම් ද්‍රව්‍යයක් කිසියම් තැනැත්තකු විසින් නිෂ්පාදනය කිරීම හෝ විකිණීම, විකිණීම සඳහා ආනයනය කිරීම හෝ නොමිලේ බෙදාහැරීම නොකළ යුතුය කියා. එම පනත පදනම් කරගෙන තමයි අපි කුරුඳු සිගරැට් නිෂ්පාදනය නතර කරන්නැයි ලිඛිතව එම සමාගමට දැනුම් දුන්නේ.“
එහෙත් මෙම ආයතනය පවසන පරිදි කුරුඳු සිගරැට්වල නිකොටීන් ප්‍රතිශතය සියයට බින්දුවකි. නිෂ්පාදනය සඳහා දුම්කොළ ද භාවිතයට නොගනියි. ඒ අනුව ඔවුන් කියා සිටින්නේ සාමාන්‍ය සිගරැට්ටුවකින් සිදුවන සෞඛ්‍ය හානිය සියයට අනූවකින් පමණ මේ හරහා අවම වන බවයි. එසේම ආයුර්වේදයේ එන දූම පානය නම් සංකල්පය ගුරුකොට ගැනීමට තමන් උත්සාහ කරන බව මෙම ආයතනය පෙන්වා දෙයි. තවද දේශීය විද්වතුන් සම්බන්ධ කර ගනිමින් මෙම නිෂ්පාදන සම්බන්ධව තමන් පරීක්ෂණ සිදු කර ඇති බව ඔවුහු කියා සිටිති. මෙම ව්‍යාපෘතියෙහි අලෙවි කළමනාකරු වන අමිල ප්‍රසංග මහතාව අපි සම්බන්ධව කර ගතිමු.
“දැන් සෑහෙන්න ප්‍රශ්න තියෙනවා. අමාත්‍යාංශයෙන් ලියුමක් එවලා තිබුණා, දුම්කොළ ඇරෙන්න වෙන මොකෙන්වත් සිගරැට් හදන්න බෑ කියලා. අපිට හිතාගන්න බෑ සිගරැට් එකකට එච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. ඇයි කුරුඳුවලට විකුණන්න බැරි කියලා. අපි වෙළෙඳපොළට නිෂ්පාදන දානවා. මේ දුම්කොළ නිෂ්පාදනයක් නෙවෙයි. ඒත් අපි හිතනවා මේගොල්ලො තාවකාලිකව අධිකරණ නියෝගයක් හරි ගනී කියලා. මේ පිටුපස ඉන්නේ බහුජාතික සමාගමක් කියලා අපි හිතනවා. මාස කිහිපයකට කලින් මැර ප්‍රහාරයක් එල්ල වුණා අපේ ආයතනයට. පොලීසියේ පැමිණිල්ල විභාග වෙනවා.”
ඔහු සඳහන් කරන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී ඇත්තේ කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුදැනුම යටතේය. එසේම මෙම නිෂ්පාදනය දේශීය වෙළෙඳපොළට හඳුන්වා දීමට පෙර රජයේ ප්‍රධානීන් වෙත පවා පිළිගන්නවා ඇත. මෙරට කුරුඳු හෙක්ටයාර් දෙලක්ෂ පනස් දහසක් වගා කිරීම සම්බන්ධව සංවාදයක් කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ ඔවුහු ඇතිකර ගත්හ. එසේම කර්මාන්තශාලා ඇතිකිරීම, නව රැකියා අවස්ථා රැසක් ඇතිකිරීම ආදිය පිළිබඳව විවිධ ඉලක්ක තමන් සතු වූ බව ඔවුහු කියා සිටිති.
මේ අතර දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා වන වෛද්‍ය, ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා සිය සංවාදයේ දී බහුජාතික සමාගම් සම්බන්ධ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ. ඔහුට අනුව මෙම සිගරුට් නිෂ්පාදන සම්බන්ධව අධිකාරිය දැනුවත් කර නැත. එසේම එහි අන්තර්ගතය සම්බන්ධව අධිකාරියට පැහැදිලි නැත. එසේම මේ පිටුපස සිටින්නේ දුම්කොළ සමාගම බව ඔහු පෙරළා චෝදනා කරයි.
කෙසේ වෙතත් මෙම සමස්ත ක්‍රියාවලිය පිටුපස කොණක බහුජාතික සමාගම් සිටින බව පැහැදිලිය. ඔවුන් කාගේ පාර්ශ්වයේ ද යන්න අපි නොදනිමු. අප හට දැනගන්නට ලැබුණු පරිදි ශ්‍රී ලංකාවේ දිනකට සිගරැට් ලක්ෂ දෙසිය විස්සක් පමණ අලෙවි වෙයි. මේ සියල්ල මත වෙළෙඳ අධිකාරිය පතුරවන්නේ එක් සමාගමකි. ඔවුන් වෙනත් කෙනකුට සිය වෙළෙඳ අවකාශය ලබා දීමට සූදානම් නැති බව සත්‍යයකි. සිගරැට් නිෂ්පාදනය සහ අලෙවිය සම්බන්ධ ඉතිහාසය දන්නෝ එය දනිති. කෙසේ නමුත් නව රැකියා ලක්ෂයක් පමණ උත්පාදනය කරමින් වසරකට ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන ඒමට ඉලක්ක කර තිබෙන කුරුඳු සිගරැට් නිෂ්පාදනය සම්බන්ධව පුළුල්ව සිතා රජය තීන්දු තීරණ ගත යුතු බව අවසානයේ අපි සඳහන් කරමු.
චමිඳු නිසල් ද සිල්වා