ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සඳහා ඕස්ට්‍රේලියාවේම සමාගම් තෝරාගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ට අල්ලස් ලබා දීමේ චෝදනා මත ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස ඔවුන් අල්ලස් ලබා දී ඇත්තේ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 14ක් වටිනා යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක් ලබා ගැනීම සඳහාය. දශකයකට ආසන්න කාලයක සිට රටවල් කිහිපයක් සම්බන්ධව ඕස්ට්‍රේලියානු පොලිසිය සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට සමත් වූ බව ඕස්ට්‍රේලියානු පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 67 සහ 71 වයසේ පසුවන්නන් බවත් ඔවුන් රැකියාව කළ සමාගම දකුණු ආසියාතික රටවල විෂමාචාර චෝදනා එල්ල වී ඇති සමාගමක් බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් 2009 සිට 2016 වසර දක්වා කාලය තුල ඇමෙරිකානු ඩොලර් 190,000ක අල්ලස්, ව්‍යපෘති ලබා ගැනීම සඳහා රජයේ නිලධාරීන්ට සහ බලධාරීන්ට ලබා දී ඇතැයි ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ප්‍රකාශ කරයි. සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව ඔවුන් තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර අද (11) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
2017 වසරේදී ලෝක බැංකුව එස්.එම්.ඊ.සී සමාගම සහ ඉන්දියාවේ, බංග්ලාදේශයේ, ශ්‍රී ලංකාවේ එම සමාගමට අනුබද්ධ ආයතන හතරකට එම රටවල කොන්ත්‍රාත්තු කිසිවක් සඳහා ලංසු තැබීම තාවකාලිකව තහනම් කර තිබිණි. එසේ තහනම් කරමින්, ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ සිදු කළ බවට සැක කෙරෙන “නුසුදුසු ගෙවීම්” සම්බන්ධයෙන් සමාගම සම්බන්ධ කරන සාක්ෂි සොයාගෙන ඇති බව ලෝක බැංකුවද ප්‍රකාශ කර ඇත.
මූලාශ්‍ර – Australians arrested over alleged Sri Lanka bribes for lucrative contracts