“ලංකාව බංකොලොත් ද” ? ෆයිනෑන්ෂල් ටයිම්ස්

ශ්‍රී ලංකාව මුහුණදී සිටින මූල්‍ය අර්බුදය හමුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට පෙළඹෙනු ඇතැයි ජාත්‍යන්තර ආයෝජකයින් උපුටා දක්වන ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත පවසයි.

ආයෝජකයින් උපුටා දක්වන එම පුවත්පත අනාවරණය කර ඇත්තේ, ශ්‍රී ලංකාව බොහෝදුරට බංකොලොත් තත්ත්වයකට පත්ව ඇති බවය.

ශ්‍රී ලංකාව ලබන ජුනි මාසයේ ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවිය යුතුව තිබේ.

ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ, එය ආපසු ගෙවීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව, සූරීනාම්, බෙලීස්, සැම්බියා සහ ඉක්වදෝරය මෙන් ණය ගෙවීම් පැහැර හැරිය රටවටල් අතර එක්වනු ඇති බවය.

ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීමට අමුතු හැකියාවක් ඇතැයි පෙන්නුම් කළත් රට බොහෝ දුරට බංකොලොත් තත්ත්වයක පවතින බව එම පුවත්පතට අදහස් දක්වමින් ස්වෛරී බැඳුම්කර ඇතුළු ජාත්‍යන්තර ආයෝජන සමාගමක ප්‍රධානියෙකු වන රිචඩ් හවුස් මහතා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව වටිනා විදේශීය සංචිත නාස්ති කර ගනිමින් සිටින බව ද ඔහු ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.

රිචඩ් හවුස් මහතා පවසන්නේ, එය නොහැකියාව කල්දමා ගැනීමට කරන උපායක් බවය.

ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 45 ක දිගුකාලීන ණය ලබාගෙන ඇති අතර ඉන් බිලියන 15ක්ම ස්වෛරී බැදුම්කර සහ ඩොලර් බැඳුම්කර බව ලෝක බැංකුව උපුටා දක්වන ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත පවසයි.

එහි සඳහන් වන්නේ, මේ වසරේ ඩොලර් බිලියන 7ක ණය හා පොලී ආපසු ගෙවීමට නියමිතව ඇති පසුබිමක රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3කටත් වඩා අඩු තත්ත්වයකට පත්ව ඇති බවයි.

මේ අතර ඩොලරය රුපියල් 200 සීමාවේ පවත්වාගෙන යාම සදහා පසුගිය වසරේ සැම්තැම්බර් හා නොවැම්බර් කාල සීමාවේ පමණක් රටේ සංචිතවලින් ඩොලර් මිලියන 736 ක් අහිමිකරගෙන ඇතැයි ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය අද(10) වාර්තා කර තිබුණි.

පුවත යවන්න