ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරද්දනවා / ජේ සී අලවතුවල

ඔක්තෝම්බර් 26 වනදා සිට ක්‍රියාත්මක කෙරුණු ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ග ආපසු නොහරවන්නේ නම් රට තවදුරටත් අර්බුධයකට පත්වීම නොවැලැක්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

පසුගිය ඔක්තෝබර් 26 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් පහ කිරීම සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක්.19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරීමේ ප්‍රතිපාදනයක් පවතින්නේ නැහැ.ඒ අනුව ඉතාමත්ම පැහැදිලියි ව්‍යවස්ථාව හා විධායක බලතල අත්තනෝමතික විදියට භාවිතා කරමින් මෙම ක්‍රියාවලිය සිදුකර තිබෙන්නේ.පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායමට පවතිනවා.මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියට මාස 3කට පෙරත් පාර්ලිමේන්තුව තුල විශ්වාසභංගයක් පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත්වුණා.
ඒ අනුව එම අවස්ථාවේ මෙන්ම අදත් පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරය පවතින්නේ අපටයි.
ඉන් පසු මන්ත්‍රීවරුන් මිලදී ගැනීමට විවිධ උත්සාහයන් ව්‍යාජ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළා.පාලිත රංගේ බන්ඩාර මහතා ඒ බව රටට සාක්ෂි සහිතව අනාවරණ කළා.දැන් රටටම අනාවරණ වෙලා ඉවරයි කවුද මන්ත්‍රීවරුන් මිලදී ගන්න උත්සාහ කළේ කියලා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය රකින්න බහුතර මන්ත්‍රී පිරිසක් මේ වෙද්දි එකතුවෙලා ඉන්න නිසා මන්ත්‍රීවරුන් මිලදී අරන් හෝ බහුතරයක් හදාගන්න මේ නිර්ලජ්ජිත කණ්ඩායමට නොහැකි වුණා.
ඒ නිසා තමයි හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කටයුතු කළේ.නමුත් ව්‍යවස්ථාවට අනුව එහෙම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න මේ වෙද්දි ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ. ඒකත් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.කොහොම වුණත් ස්වාධීන අධිකරණය විසින් එම තීරණය අත්හිටුවා වාරණ නියෝගයක් නිකුත් කළ නිසයි තවමත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද මේ රටේ ජනතාවට විශ්වාසයක් තබාගන්න හැකියාව ලැබී තිබෙන්නේ.
විධායක ජනාධිපති ධූරය දරන පුද්ගලයාට තමන්ට කැමති කෙනෙක් විතරක් අගමැති කරන්න හෝ එයාට අකමැති නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියන්න බැහැ.මේ 2015 අගෝස්තු 17 මහ මැතිවරණයෙන් ජනතාව අනුමත කළ ආණ්ඩුවක් හා අගමැතිවරයෙක් මිස ජනාධිපතිවරයා පත් කළ ආන්ඩුවක් නෙවෙයි.ඒ වගේම සන්ධානය ජාතික ආණ්ඩුවට එන්න කලින් එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක් පැවතුණු බව අමතක නොකළ යුතුයි.මේක රාජ්‍ය පාලනය කිරීමක් මිස සෙල්ලම් ගෙයක සෙල්ලම් කිරීමක් නෙමෙයි.
මේ රටේ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර යහපාලන රජය විසින් තහවුරු කළා.නමුත් බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැරගෙන විධායකය අත්තනෝමතිකව කටටුයතු කිරීම තුලින් අද මේ රටට සිදුව ඇති දේ ලෝකයටම පැහැදිලි වෙලා තිබෙනවා.
බරපතල අපරාධ පිළිබද පරීක්ෂණ සිදුකළ පොලිස් නිලධාරීන් මාරු කරන්න නියෝග ලබාදෙනවා නම් දූෂිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඔවුන් කටයුතු කරන්නේ මොන ආකාරයෙන්ද කියලා පැහැදිලියි.
දැන් එලඹී තිබෙන්නේ තීරණාත්මක අවස්ථාවක්.
මේ රට විනාශ කරන්න මේ පුද්ගලයින්ට ඉඩ දෙන්න බෑ.
මේ නීති විරෝධී කණ්ඩායම දැන් 3න් වරක්ම පාර්ලිමේන්තුවේ බහුතරය නොවන බව තහවුරු වෙලා තියෙනවා.විශ්වාසභංග 2කින් ඔවුන් පරාජයට පත්වුණා.දැන් ඔවුන් ඉල්ලනවා ජන්දයක්. පාර්ලිමේන්තුවේ ජන්දයකදී මිරිස් කුඩු ගහන , කතානායකට පහර දෙන මිනිස්සු රටේ ජන්දයකදී කොහොම හැසිරෙයිද ?දැන් කාලය හරි. මේ පිරිස දැන් රට ආරජික නොකර ආණ්ඩුව භාරදී යා යුතු වෙනවා. ජනතාව තවදුරටත් මේකට ඉඩ දෙන්න සූදානම් නැහැ.
මොන බලවතෙක් වුණත් ඔහු ව්‍යවස්ථාවට එරෙහිව නීතියට එරෙහිව කටයුතු කරලා නම් ඊට පියවර ගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න එක්සත් ජාතික පෙරමුණ වගේම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු කණ්ඩායම් සූදානම්.