වාර්තාගත පිරිසකට ඊයේ දිනයේ කොරෝනා එන්නත්

මෙරට කෝරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ දිනයේ ලබාදී තිබෙන බව  සෞඛ්‍ය අංශ පවසනවා.

ඊයේ දිනය තුළදී කොරෝනා එන්නත් මාත්‍රා 384,763 ක් ලබාදීමට හැකිවී තිබෙනවා. එහිදී සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව 338,572 ක් දෙවන මාත්‍රාව 35,410 ක් සහ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 7,416 ක් ලබාදීමට හැකිවුණා. ස්පුට්නික් වී එන්නතේ මාත්‍රා 3,365 ක් ද ඊයේ දිනය තුළදී ලබාදී තිබෙනවා. පෙරේදා දිනයේදී ද පුද්ගලයින් 337,445 දෙනෙකුට එන්නත් ලබාදීමට හැකිවුණා.

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ජනතාව සදහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ එළිමහන් රංගපීඨයේ දී අද සිට ලබාදීමට නියමිතයි. යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් එන්නත් ලබාදීම සිදුකරනවා. බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට ජාතික හැදුනුම්පත්,  විදුලි බිල්පතක්,  දුරකතන බිල්පතක් හෝ ඡන්ද නාමලේඛනයේ ග්‍රාම නිලධාරීවරයා සහතික කරන ලද පිටපතක් රැගෙන ඒමෙන් එන්නත් ලබාගැනීමට හැකියාව පවතිනවා.

යුද හමුදාව බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ සිදුකරන එන්නත් ලබාදීමේ වැඩසටහන අද සිට ලබන 19 වනදා තෙක් තාවකාලිකව නවත්වා තිබෙනවා.

බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සදහා එන්නත් ලබාදීම බත්තරමුල්ල එම් ඩී එච් ජයවර්ධන ප්‍රාථමික විදුහලේ දී සිදුකෙරෙනවා.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ප්‍රදේශවල වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සදහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම බගවන්තලාව සෙන්ට් මේරිස් දෙමළ මහා විද්‍යාලයේ දී සිදුකෙරුණා. වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද එම විද්‍යාලයේ දී දෙවන මාත්‍රාව ලබාදීම අද සිදුකෙරෙනවා.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අත්තනගල්ල,  කොස්කදවල රජමහා විහාරස්ථානයේ දී ද සිදුකෙරුණා.

පුවත යවන්න