ජල විදුලි බලාගාර ආශ්රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් ලෙස වැසි ලැබී ජලාශ පිරෙන තුරු තවත් මාස තුනක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ නම් සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අනාවරණ කළා.
එලෙස විදුලිය කප්පාදුව සිදුකළද විදුලිය කප්පාදු කරන වේලාවන් අඩු වැඩි විය හැකි බවද ඔහු සඳහන් කළා.
ඒ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දේශයට පැවසුවේ දැනට විදුලිබල නිෂ්පාදන ජලාශවල ජලය විදුලි නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් වන්නේ තවත් සති දෙකකට පමණක් වන බවය.
මේ සම්බන්ධයෙන් අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කළෙමු. එහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේ උඩරට විදුලිබල ජලාශ පිරී යාම සඳහා ප්‍රමාණවත් නිරිතදිග මෝසම් ලැබෙනුයේ මැයි මාසයෙන් පසුව බවයි. ඊට පෙර සුළු වශයෙන් එම ප්‍රදේශවලට වැසි වැටුණත් වැඩිපුර විදුලිය උත්පාදනය සඳහා එම වැසි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවය.
හොඳින් වැසි ලැබුණු පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් කාලයේ මෙරට සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 70%ක් ජල විදුලි බලාගාර මඟින්, 28% තාප බලාගාර මඟින්, 2% සුළං බලාගාර ඔස්සේද නිෂ්පාදනය කෙරිණි. එහෙත් නියං කාලය උදාවීමත් සමඟ අද වනවිට ජල විදුලිය නිෂ්පාදනය 20% දක්වාත්, තාප විදුලි බලාගාර ඔස්සේ 78%ක්ද, සුළං බලාගාර ඔස්සේ 2%ක්ද වශයෙන් විදුලිය නිෂ්පාදනය කෙරෙයි.
කෙසේ වෙතත් විදුලි කප්පාදුව සම්බන්ධයෙන් නෛතික බලය හිමි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ අවශ්‍ය තෙල් ප්‍රමාණය ලැබුණහොත් පමණක් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවය.