විදෙස්ගතවන ශ්‍රමිකයන්ට ෆයිසර් සහ මොඩර්නා ඉල්ලයි / අනෙක් එන්නත් පිළි නොගැනීමේ ගැටළුවක්

විදෙස්ගතවන ශ්‍රමිකයන්ට ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදෙන ලෙස බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

එම සංගමයේ ලේකම් එම්.එෆ්.එම්. අර්ෂාඩ් කියා සිටියේ ඇතැම් රටවල් මෙරට තුළ දැනට ලබාදෙන අනුමත එන්නත් පහෙන් එන්නත් තුනක්ම විදේශගතවීමේදී පිළිනොගන්නා තත්වයක් පවතින බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර සහ ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ග්‍රැහැම් ඔග් ඇතුලු විශේෂඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකින් අනාවරණ වුණේ සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් තුළ සියයට 95 ක ප්‍රතිදේහ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

සංචරණ සීමා ලිහිල් කර ඇති යුරෝපා මහද්වීපයේ බොහෝ රටවලට ඇතුලුවීමේදී ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් ලබාගත් පුද්ගලයින්ට ප්‍රමුඛතාව හිමිවන අතර, හංගේරියාව වැනි රටවල් ස්පුට්නික් එන්නත ලබාගත් පුද්ගලයින්ට ද එම රටට ඇතුලුවීමට අවසර දී තිබෙනවා.

කෙසේ වෙතත් ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවල් ස්පුට්නික් සහ සයිනොෆාම් එන්නත් සඳහා වැඩි පිළිගැනීමක් දක්වන්නේ නැහැ.

මැදපෙරදිග සංචාරක මර්මස්ථානයක් වන අබුඩාබි රාජ්‍යයේ ෆයිසර්, සයිනොෆාම් එන්නත් ලබාගත් පුද්ගලයින්ට නිදහස් වීසා ලබාදීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය ජූනි 23 වනදා නිවේදනය කළේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නයිජීරියාව යන රටවල සිට ඩුබායි වෙත පැමිණෙන පුද්ගලයින් අනිවාර්යයෙන් එරට අනුමත සයිනොෆාම්, ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික් එන්නත් ලබාගත යුතු බවයි.

සෞදි අරාබිය විදෙස් සංචාරකයන්ට දින 7 ක නිරා්ධායන කාලසීමාවකට යටත්ව ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, මොඩර්නා සහ සයිනොෆාම් මෙන්ම සිනොවැක් එන්නත් ලබාගත් අයට තම රටට ඇතුලුවීමට අවසර ලබාදී තිබෙනවා.

මෙලෙස ඇතැම් රටවල් එක් එක් එන්නත් පිළිගැනීම හා ප්‍රතික්ෂේප කිරීමට රාජ්‍යතාන්ත්‍රික දේශපාලනික මතවාද හා අභිලාෂයන් බලපෑම් කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලනි විජේබාහු පෙන්වා දෙනවා.

පුවත යවන්න