විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අගමැතිගෙන් පන්තියක්

දේශපාලනයේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන සිදුවීමක් පසුගිය 6 වැනි දින දැකගත හැකි විය. මෙම සිදුවීම සිදුවූයේ මැතිසබය තුළදී නොවේ. එය සිදුවුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන දොරටුව වන තඹ දොරටුව ඉදිරිපිටදීය. විරෝධතාවයේ නිරතව සිටි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හමුවීමට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පැමිණීම එම විශේෂ සිදුවීමයි.

මේ දිනවල අය – වැය කාරක සභා අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර මේ නිසා මැතිසබය රැස් වන්නේ පෙරවරු 9.30 ටය.

ඊයේ දින පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පෙරවරු 9.15 ට පමණ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපිට පිහිටි පොකුණ ඉදිරිපිට පියගැට පෙළ අසල සිට විරෝධතාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පාර්ලිමේන්තුව තුළ තහවුරු කරන ලෙස සඳහන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාව සංවිධාන කිරීමට තීරණය කර තිබුණි.

විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම විරෝධතාවයට සමගි ජනබලවේගයේ සභාපති හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, හර්ෂණ රාජකරුණා, ඉමිටියාස් බාකීර් මාකර්, රවුෆ් හකීම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණෙමින් සිටි අතර ඔවුන්ගෙන් පිරිසක් වේලාසනින්ම තඹ දොරටුව ආසන්නයේ රැඳී සිටින ආකාරයක් දක්නට ලැබුණි.

පෙරවරු 9.20 ට පමණ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා රැගත් රථ පෙළ පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වූ අතර අග්‍රාමාත්‍යවරයා රැගත් රථය පාර්ලිමේන්තුව ඉදිරිපිට තඹ දොරටුව ආසන්නයට පැමිණියේය.

රථයේ පැමිණෙන අතරතුර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තඹ දොරටුව ඉදිරිපිට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතාවට සූදානම් වෙමින් සිටින ආකාරය දුටුවේය.

•පාඨලී, රාජිත, ඉමිටියාස් අගමැති වටකර ගනිති.

වාහනයෙන් බසින විට අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රියන්ත රත්නායක ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

වාහනයෙන් බැස අගමැතිවරයා ශෙහාන් ඇතුළු පිරිස සමඟ කතා කරමින් කතාබස් කරමින් පැමිණියේ තඹ දොරටුව ඉදිරිපිට එක්රැස්වී සිටි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසටය.

“මොකද ඔබතුමාලා කරන්න යන්නේ” යනුවෙන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විමසුවේ පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න ඇතුළු පිරිසගෙන්ය.

ඉමිටියාස් බාකීර් මාකර්, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා ඇතුළු පිරිසක් එහි වූහ.

“විරෝධතා පවත්වන්න අර පොකුණ ඉස්සරහා වාඩිවෙලා. ඒ කාලේ අපිත් විරෝධතා ඔතන පැවැත්වුවා. ඔය රාජිත, ඉමිටියාස්ලා ඉන්නේ. ඒගොල්ලොන්ගෙන් අහගන්න.” යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඉතා සුහදශීලීව ප්‍රකාශ කළේය. “ඔව්, ඔව් අගමැතිතුමනි තව පොඩ්ඩකින් එතන පොකුණ ළඟට ගිහිල්ලා එදා වගේ උද්ඝෝෂණය කරන්නයි අපි හදන්නේ.” යනුවෙන් දොස්තර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කියා සිටියේය.

1989 – 90 කාලයේදී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව එදා විපක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව ඉදිරිපස පිහිටි පොකුණ අසල බිම වාඩි වී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවැනි මහලේ පිහිටි අගමැති කාර්යාලයට යන අතරතුර ඔහු සමඟ ගිය මැති ඇමැතිවරුන් හා නිලධාරීන් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ එදා පාර්ලිමේන්තුවේ පොකුණ ඉදිරිපිට සංවිධානය කළ උද්ඝෝෂණය පිළිබඳවයි.

•එදා වාසුට පහර දෙන විට විරෝධතා කළේ මහින්ද

“එදා ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව දැඩි මර්දනයක් කරගෙන ගියා. ඒකට විරුද්ධ වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තුවේ විරෝධතා කරද්දී යු.ඇන්.පී. එකේ ඇමතිවරු ටික වටකරගෙන වාසුට හොඳටම තැළුවා. බිම දාගෙන වාසුට ගැහුවා. වාසුව එදා බේරගත්තේ හරිම අමාරුවෙන්. එදා වාසුට ගහපු එකට විරුද්ධවයි අපි උද්ඝෝෂණය කළේ.” යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

“දැන් තියෙන ආණ්ඩුවේ කවුරුත් විරුද්ධ පක්ෂයේ කාටවත් එහෙම ගහල නැහැනේ.” යනුවෙන් එහි සිටි නිලධාරියෙක් පැවසුවේය.

“දැන් විරෝධතා කරන්නේ හේතුවක් ඇතුව නෙවෙයි. දැන් විරෝධතා පවත්වන්නේ මීඩියාවලට.” යනුවෙන් තවත් නිලධාරියෙක් පැවසුවේය.

“එදා වාසුදේව මන්ත්‍රීතුමාට ගහපු දවසේ මහා කලබලයක්. මට මතකයි මොනරාගල සුමේධා ජයසේන මන්ත්‍රීතුමිය අතේ තිබුණු වටිනා මැණික් ගලක් අල්ලපු මුද්දකුත් ඒ අස්සේ පාර්ලිමේන්තුවේදී නැති වෙලා තිබුණා.” යනුවෙන් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සේවකයෙක් අතීත සිදුවීමක් සිහිපත් කළේය.

“පාර්ලිමේන්තුවේ ඔය පොකුණ ළඟ පවත්වපු උද්ඝෝෂණයට එදා අනුර බණ්ඩාරනායක, අමරසිරි දොඩංගොඩ, රිචඩ් පතිරණ ඇතුළු විශාල පිරිසක් එකතුවෙලා හිටියා.” යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තුව පසුගිය (06) දින මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එදින සමගි ජනබලවේගය විසින් මැතිසබය වර්ජනය කර තිබුණි.

මැතිසබයට නොපැමිණි ඔවුන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට ඇති පොකුණ අසල පියගැට පෙළ අසල සිටගෙන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වෙමින් කියා සිටියේ මැතිසබය තුළ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වහාම තහවුරු කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවයි.

විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම විරෝධතාව මෙහෙය වූ අතර මන්ත්‍රීවරුන් සියලුම දෙනා කළු පටි පැලැඳගෙන මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටිනු දක්නට ලැබුණි.

සමහර මන්ත්‍රීවරුන්ට සජිත් ප්‍රේමදාස විසින්ම කළු පටි බෙදා දුන්නේය.

•සජබ වර්ජනයට සජිත්ගෙන් කළු පටි

විරෝධතාව පැවැත්වීමෙන් අතරතුර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට ගොස් විකල්ප පාර්ලිමේන්තු සංකල්පයක් සේ සලකා විපක්ෂ නායක කාර්යාලයේ සිට පාර්ලිමේන්තු පැවැත්වෙන අය – වැය විවාදය සජීවීව රූපවාහිනියෙන් නරඹා ඊට සමාජ මාධ්‍ය ජාලය ඇතුළු මාධ්‍ය ඔස්සේ පිළිතුරු ලබාදීමට කටයුතු කර තිබුණි. මේ අතර කෘෂිකර්ම අමාත්‍යවරයාට යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙන අතරතුර මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ගත් තීරණය ගැන කතා කිරීමට ද අමතක නොකළේය.

•පාර්ලිමේන්තු වර්ජනය කළත් විපක්ෂ මන්ත්‍රීවරු 34 කෑම කාලා.

“අද උදේ පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් 34 දෙනෙක් කාලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ කුමාර දිසානායක, විජිත හේරත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් දැන් කන්න ගියා.

අනුර කුමාර දිසානායක උත්සාහ කළා, අද පාර්ලිමේන්තුවේ කවුරුත් නැහැ කියලා රටට පෙන්වන්න.” යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරන විට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බොහොම වේගෙන් සභා ගර්භය වෙත ආවේය.

“ඔන්න ඔහොම ඇවිල්ලා කියන දේ අහගන්නකෝ.” යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.

“මේ මහින්දානන්ද ඇමතිතුමාගේ තමාගේ හිතට එන හිතලු ඔහේ ප්‍රකාශ කරනවා. මේ නාවලපිටියේ මහින්දානන්ද නෙවෙයි. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද කියලවත් හිතාගන්න. මං සහ විජිත හේරත් සහෝදරයා ගැන කියපු කතාව අසත්‍යයක්.” යනුවෙන් අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

මෙහිදී මැතිසබය වඩාත් උණුසුම් වූයේ දෙදෙනා අතර යම් උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වූ නිසාය.

දෙදෙනාව පාලනය කිරීමට කථානායකවරයා දැඩි උත්සාහයක් ගත් අතර ඔවුන් දෙදෙනාගේම මයික්‍රෆෝන ක්‍රියාවිරහිත කළ පසුව ද දෙදෙනාම උණුසුම් වචනවලින් එකිනෙකාට දොස් පවරා ගත්තේ මැතිසබය තවත් උණුසුම් කරමිනි.

ඉකුත් සති අන්තයේ අබුඩාබි රාජ්‍යයේ පැවති ඉන්දියානු සාගර සමුළුව අමතන්නට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉරිදා රාත්‍රියේ යළි ලංකාවට පැමිණියේය. ඔහු ලංකාවට පැමිණෙන විට යුගදනවි බලාගාරයේ ප්‍රශ්නයට එරෙහිව විදුලි ඉංජිනේරු වෘත්තීය සමිති විසින් ආරම්භකර තිබූ වෘත්තීය අරගල බොහෝ නරක අතට පත් වී තිබිණි.

ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සිදු වූ වැරැද්දකින් නොරොච්චෝලේ තාප බලාගාරය අක්‍රීය වීමෙන් ලොකු පාඩුවක් සිදුවිය. අක්‍රිය වූ බලාගාරය නැවත යථා තත්ත්වයට පත් කරවීමට දින ගණනාවක් ගතවීම නිසා රටට ම යම් පැය ගණනක් විදුලිය විසන්ධි කරන්නට පවා සිදු විය.

රජයේ මැති ඇමතිවරු මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නට ජනාධිපතිවරයාට යෝජනා කළත් ඒ ගැන ජනාධිපතිවරයා පසුවූයේ වෙනත් මතයක ය.

“ඒගොල්ලො උගත් අය. ප්‍රශ්නයක් කතා කරලා බේරගන්න බැරි අය නෙවෙයි. මම ඉස්සර වෙලා ඒ අයත් එක්ක ටිකක් කතා කරලා ඉන්නම්.” ජනාධිපති කීවේය.

ඒ අනුව සඳුදා උදේ 10.00 ට ජනාධිපතිවරයා සියලුම විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතිවල නියෝජිතයෝ ජනාධිපති ලේකම් කාර්යාලට කැඳවීය.

•කෙන්යාවේ බලශක්තිය ගැන ජනපතිගෙන් පුදුම හිතෙන කතාවක්.

ඒ අතර ඇමතිවරයාත් අමාත්‍යාංශ නිලධාරිනුත් විදුලි බලමණ්ඩලයේ නිලධාරිනුත් මේ සාකච්ඡාව සඳහා එක් කරගන්නට ජනාධිපතිවරයා කල්පනා කළේය.

ජනාධිපති කතාව පටන් ගත්තේ ආරාධනය පිළිගෙන පැමිණි සියලුම දෙනාට ස්තූතිවන්ත වෙමිනි. “හැබැයි ඉතින් මට මේ වෙලාවේ ඇත්ත කතා කරන්න වෙනවා. විදුලිබල මණ්ඩලයේ මේ සිදුවුණු ක්‍රියාව සම්බන්ධයෙන් ආණ්ඩුව විතරක් නෙවෙයි, මේ රටේ ජනතාවත් ඉන්නේ මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන දැඩි අප්‍රසාදයක. මේක සරලව ගන්න එපා. මේ වෙච්ච දේ ජාතික ආරක්ෂාවට පවා විශාල තර්ජනයක්. ඔය හැමෝම මේ රටට ආදරේ කරන බුද්ධිමතුන් බව මම දන්නවා. උගත් වෘත්තිකයෝ හැටියට මම හිතනවා ඔයාලා මින් ඉදිරියට තම තමන්ගේ වගකීම් තේරුම් අරන් වැඩ කරයි කියලා. අපි එක බලාපොරොත්තු වෙනවා.”

ජනාධිපතිවරයාගෙ කතාබහින් පසුව ඉංජිනේරුවන් සහ විදුලි නිලධාරීන් අතර තරමක් උණුසුම් කතාබහක් ඇති විය. එකිනෙකා එකිනෙකාට ඇඟිලි දිගු කරමින් දොස් පවරන්නට වූහ. “ඔයාල මේකට බෙදිලා ගැටුම් ඇතිකර ගන්න එපා. ගැටුම් ඇති කර ගැනීම නෙවෙයි අවශ්‍ය. මේ වෙලාවේ අපි දෙගොල්ලා එකතුවෙලා හරි දේ කරන එක තමයි වැදගත්. මේක අපේ රට. රටට ඔයගොල්ලෝ සම්පත්. ඉතින් මේ රටේ ජනතාව ඔයගොල්ලන්ගෙන් වගකීමක් බලාපොරොත්තු වෙනවා. ජනතාව බලාපොරොත්තු වන දේ මොකක්ද කියල ඔයාලා තේරුම් අරන් වැඩ වැඩ කරන්න.

ඒ විතරක් නෙවෙයි. ඔයාලා රජයෙන් බලාපොරොත්තු වන යමක් තියෙනවා නම් සාධාරණ දෙයක්. ඒක අපිට කියන්න. අපි ඒ දේවල් දෙන්නම්. මම කියන්නේ මේක අපි අසීරුවෙන් ඔක්කොම එකතු වෙලා යන ගමනක්. අන්න ඒ ගමනට බාධා කරන්න විතරක් එන්න එපා.” ඉන්පසුව ජනාධිපතිතුමා තවත් වැදගත් කතාවක් කීවේ ඔහුට විඳින්නට සිදුවූ අත්දැකීමක් ගැනය.

“මම ඔස්ලෝ ගිය වෙලාවේ කෙන්යාවේ ජනාධිපතිතුමා මට හමු වුණා. එතුමා කතා කරන විට කිව්වා අපි නම් දැන් 80% ක්ම බලශක්තිය ලබා ගන්නේ පුනර්ජනනීය බලශක්තියෙන් කියලා. එයා පුදුම කතාවක් කිව්වා.”

“අපේ රටේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය අද සාර්ථක වෙලා තියෙන්නේ ඔබතුමාගේ රටේ ඉංජිනේරුවෝ නිසා. ඔබේ රටේ ඉංජිනේරුවෝ තමයි අපට අද ඒක කරලා දෙන්නේ.”

“ඇත්තටම එතුමා එම එහෙම කියනකොට මට ලොකු සතුටක් ඇති වුණා. ආඩම්බරයක් ඇති වුණා. අපේ රටේ ඉංජිනේරුවරු ගිහින් එහෙ වැඩ කරනවා. එහාට පුනර්ජනනීය බලශක්තිය හදලා දෙනවා. ඇයි අපේ රටේත් ඒ ටික කරලා දෙන්න අපේ ඉංජිනේරුවන්ට බැරි කියලා මට හිතුනා.”

“මම දන්නවා ඊට වඩා දක්ෂයෝ අද අපේ රටේ ඉන්න බව. ඒක නිසා අපි දැන් ඉදිරියේදී අපට තියෙන අභියෝගය මොකක්ද කියලා තේරුම් අරන් වගකීමකින් වැඩ කළොත් අපිටත් ලොකු ඉලක්කයකට ළඟා වෙන්න අපහසු වෙන එකක් නෑ. ජනාධිපතිවරයා ඉතා සුබවාදී ලෙස කතා කරමින් එලෙස එම සාකච්ඡාවේ දී ඔහුගේ කොටස සම්පූර්ණ කළේය.

ඉංජිනේරු වෘත්තීය සමිති ද මෙම කාරණාව ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන බව පැහැදිලි විය.

•සජබ වර්ජනයට හේතු ප්‍රසන්න පැහැදිලි කරයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන යන පාර්ලිමේන්තුව වර්ජන කිරීමේ ක්‍රියාදාමය එදින දහවල් ආහාර ගනිමින් සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මාතෘකාව බවට පත්විය.

“ඇත්තටම මේ සිද්ධියේදී මනූෂ තමයි වැරදිකාරයා. කතානායකතුමාට තර්ජනය කළේ මනූෂ. ඒත් දැන් මේ අය උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා අදහසක් ජනතාව අතරටයි ජාත්‍යන්තරයටයි යවන්න.” ජොන්ස්ටන් ඇමතිවරයා කීය.

“පහුගිය කාලයෙ නිවාස සංවර්ධන අධිකාරයේ සිදුවුනු දූෂණ චෝදනා ගොඩක් අපි ළග තියෙනවා. ඒවා හෙළි කරන්න අවස්ථාව ලැබෙනකල් අපි බලන් හිටියේ.” නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ඊට පිළිතුරු දුන්නේය.

“ඕක තමයි මේ වර්ජනය පිටුපස ඇත්තම කතාව.” සජිත් කැමැති නැහැ තමන්ගේ ප්‍රතිරූපයට හානි වෙනවාට” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීය.

අය – වැය කාරක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තුව කාරක සභාවක් ලෙස රැස්වන අතර, ඒ ඒ අමාත්‍යංශවල වැය ශිර්ෂ විවාදයට ගෙන සම්මත කරගනු ලැබේ. එහිදී විවාදය ආරම්භ කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි. එම අවස්ථාවේ දී විශේෂත්වයක් වන්නේ, විවාදය ආරම්භ කරන මන්ත්‍රීවරයා ඒ ඒ අමාත්‍යාංශ හා ඒ යටතේ ඇති ආයතනවල පුනරාවර්තන හා මූලධන වියදම් රුපියල් 10 කින් කපා හැරිය යුතු යැයි යෝජනා කරමින් විවාදය ආරම්භ කිරීමයි. එය අය – වැය කාරක සභා විවාදය සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ලෙස සැලකේ.

මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති වුයේ පසුගිය දෙසැම්බර් 03 හා 04 පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධීන් මත විපක්ෂයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 06 වැනි දා සහ 07 වැනි දා පාර්ලිමේන්තු විවාදයට සහභාගී නොවීමේ තීරණය හේතුවෙනි. ඒ අනුව විවාදය ආරම්භ කිරීමේදී “කපා හැරීම” (Cut Motion) ප්‍රකාශ කිරීමට නම් කර ඇති, විපක්ෂයේ මන්ත්‍රීවරයා නොමැති වීම නිසා පාර්ලිමේන්තු රැස්වීම අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්, නිලධාරීහු ඇතුළු බොහෝ අයගේ හැඟීම විය.

අනෙක් කාරණය වූයේ සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ, “කපා හැරීම” ප්‍රකාශ කළ හැකි 32 කින් යුතු විපක්ෂ මන්ත්‍රී ලැයිස්තුවට, 06 සහ 07 පාර්ලිමේන්තු විවාදයට එක්වීමට පැමිණ සිටි දෙමළ ජාතික සන්ධානයේ එකම මන්ත්‍රීවරයෙකුගේවත් නම ඇතුළත්ව නොතිබීමය. ඒ සම්බන්ධයෙන් වන්නි දිස්ත්‍රික්කයේ ටී.එන්.ඒ. මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

•නවතින්න නොදී දිනේෂ් පාර්ලිමේන්තුව අරන් ගිය හැටි.

“ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් 3 දෙනාගෙන් 2 ගේ ම නම් මේ ලයිස්තුවේ තිබෙනවා. ඒත් 13 ක් ඉන්න අපේ පක්ෂයේ කාවවත්, විපක්ෂය විසින් මේ ලැයිස්තුවට දාල නෑ. එක අසාධාරණයි.”

එම විරෝධය එසේ පළ වෙද්දී, අදහස් පළ වූයේ “කපා හැරීම” යෝජනා නොකරන නිසා විවාද කිරීමේ අවස්ථාව නොමැති වී, වැය ශිර්ෂ සම්මත වී ක්ෂණිකව පාර්ලිමේන්තු රැස්වීම අවසන් කිරීමට සිදුවනු ඇති බවයි. එහෙත් සභානායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ සිය අතීත අත්දැකීම් සහ පාර්ලිමේන්තු ක්‍රමයේ දැනුම උපයෝගී කරගෙන මෙසේ කීය.

“මන්ත්‍රීවරුන්ට පුළුවන්, ඒ ඒ වැය ශීර්ෂයේ ප්‍රතිපාදන සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කර ඒ අනුව කතා කරන්න. ඒ අනුව විවාදය ඉදිරියට ගෙන යා හැකියි”

“පාර්ලිමේන්තුවේ එහෙම කරලා තියෙනවද?” පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් ප්‍රශ්නයක් යොමු විය.

“කට් මෝෂන් නොකරපු අවස්ථා තිබෙනවා. මම කිව්වා විදියට අපිට පාර්ලිමේන්තු රැස්වීම ඒ අනුව දිගට ම කරගෙන යා හැකියි” දිනේෂ් උදාහරණ දක්වමින් එය දීර්ඝව පැහැදිලි කළේය. දිනේෂ් ගුණවර්ධන සභානායකවරයා මෙම අර්ථ නිරූපණය, මඟ පෙන්වීම අනුව යමින් පසුගිය 06 වැනිදා සහ 07 වැනිදා පාර්ලිමේන්තු විවාදය පැවැත්විණි. 07 වනදා පස්වරු 5.30 පසුවනතුරුත් පාර්ලිමේන්තුව පැවැත්විණි. ඊට එජාපය, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ද සහභාගී වනු දක්නට ලැබුණි.

මේ නිසා “කපා හැරීම” (Cut Motion) ඉදිරිපත් නොකිරීමෙන් පාර්ලිමේන්තු විවාදය පවත්වාගෙන යා නොහැකිවීමෙන්, පාර්ලිමේන්තු රැස්වීම ක්ෂණිකව අවසන් වනු ඇති යන මතය නිවැරදි නොවන බව තහවුරු විය. සමගි ජනබලවේගය ද කථානායකවරයා හමු වී ඊට පසුදා ම යළි පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී විය.

•නාමල් කරලියට

වැඩිය සද්ද බද්ද නැතුව වැඩ කරගෙන යන නිහඬ වැඩ්ඩෙක් ගැන පසුගිය දිනවල විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර යම් කතාබහක් ඇතිවිය. ඔවුන් විසින් ම නිහඬ වැඩ්ඩා යනුවෙන් නම්කර තිබුණේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂයන්ය.

විශේෂයෙන් ම කොරෝනා ලෝක වසංගතය සමඟ මුළු ලෝකයේම ක්‍රියාවලිය එකතැනක නතර වී තිබුණු අවස්ථාවක මෙරට ක්‍රීඩාව කැපී පෙනෙන ආකාරයෙන් ඉදිරියට ගෙන ඒම ගැන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම දුරකතනයෙන් කතා කොට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට සුබ පතා තිබුණි. ක්‍රිකට් ඇතුළු බොහෝ ක්‍රීඩා ඉසව් දැඩි ලෙස ඇද වැටී තිබුණු අවස්ථාවක දී කොරෝනා වසංගතයට ද මුහුණ දෙමින් වසර 02 ක් ඇතුළත ක්‍රිකට් ඇතුළු බොහෝ ක්‍රීඩා ඉසව්වල සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කිරීම ගැන එම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනා දේශපාලන කුහකත්වයකින් තොරව නාමල් රාජපක්ෂට ප්‍රශංසා කර තිබුණි. “ඔබතුමන්ලාගේ දිරිගැන්වීමට බොහෝම ස්තූතියි.

කොරෝනා වසංගතය නොතිබුණා නම් අද මීටත් වඩා ක්‍රීඩාව ඉහළට ගෙන එන්න මම කටයුතු කරනවා. මොන බාධක ආවත්, අභියෝග එල්ල වුණත් ක්‍රිකට් ඇතුළු සෑම ක්‍රීඩා ක්ෂේත්‍රයේ ම ඉදිරි පිම්මක් තැබීමට කටයුතු කරනවා. ඒ සඳහා ඔබතුමන්ලාගේ සහයෝගයත් සාධාරණ විවේචනත් මට අවශ්‍යයි.” යනුවෙන් නාමල් රාජපක්ෂ තමන්ට කතා කළ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනාට ප්‍රකාශ කොට තිබුණි.

• දෙමළ සන්ධානයෙන් රනිල්ට ප්‍රශංසා.

එජාප නායක රනිල් ඉකුත් සති අන්තය ගත කළේ අබුඩාබි රටෙහිය. ඒ ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි නිසාවෙනි. එම සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැරූ අතර ජී.එල්. පීරිස් විදේශ ඇමතිවරයා ද එහි ගොස් සිටියෝය. ජනාධිපතිවරයා හා විදේශ ඇමතිවරයා සිටි හෝටලයට මඳ දුරකින් පිහිටි හෝටලයක රනිල් වික්‍රමසිංහ රැදී සිටියේය.

ජනාධිපතිවරයා ඉකුත් 04 දා සාගර සමුළුව ඇමතූ අතර නායකයා සමුළුව ඇමතුවේ 05 දාය. ඊට පෙර නායකයා සිංගප්පූරු ආණ්ඩුවේ මැති ඇමතිවරු කිහිප දෙනෙකු මෙන්ම ඉන්දියාවේ මැති ඇමතිවරු කිහිප දෙනකු හමුවීමට ද අමතක නොකළහ. එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඔවුනොවුන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි.

නායක රනිල්ට ජනාධිපතිවරයා හා විදේශ ඇමතිවරයා එහිදි හමුවුවේ සමුළු සාමාජිකයන් වෙනුවෙන් පැවැති දිවා භෝජන සංග්‍රහයේදීය. ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන් ම නායකයා ද එක මේසයක හමුවුවේ එතනදීය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය අඟහරුවාදා අබුඩාබිහි දී සිට ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු ඉන් පසු කෙළින්ම ගියේ පාර්ලිමේන්තුවේ අය – වැය විවාදයට සහභාගී වීම උදෙසා ය.

පාර්ලිමේන්තු සභාගර්භය වෙත පිවිසුණු ඔහුට දැන ගැනීමට ලැබුණේ විපක්ෂයේ කණ්ඩායමක් එදින පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගී වීම වර්ජනය කර ඇති බවකි. එහෙත් ඔහු තනිව විපක්ෂයේ කාර්යභාරය කරනු දැක ඒ වනවිටත් විපක්ෂයේ අසුන් ගෙන සිටි දෙමළ සන්ධාන මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම ඔහු අසලට පැමිණ නායකයාගේ ක්‍රියාකලාපය අගය කළහ.

•වජිරට සිදු වූ අකරතැබ්බය.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයෙකු, ඇමතිවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස ද කටයුතු කළ සිරිසේන කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට ශෝකය පළකල එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන එම ස්ථානයෙන් පිටව ගියේ ගාල්ලේ සංවිධානය කර තිබූ රැස්වීම්වලට සහභාගී වීමටය.

මෙලෙස අකුරැටිය ඉනිමංකඩ මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඉනිමංකඩ යකඩ පාලම අසල මාර්ගයේ පැවැති උද්ඝෝෂණයක් නිසා වජිරට අනපේක්ෂිත අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය. බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කර සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරතව සිටි ගම්වාසීන් දුටු වජිර වාහනයෙන් බැස ඔවුන් දෙසට ගමන් කළේ සිදුවන්නේ කුමක්ද කියා දැනගන්නටය.

“ඇමතිතුමණි, පසුගිය මැතිවරණයේදී අපි ඔබතුමාට ඡන්දය දුන්නේ නැහැ. ඒ ගැන අද අපි දුක් වෙනවා. අපට වෙන මොනවත් එපා. මීළඟ ඡන්දයේදී ඔබතුමා ගමට නාවත් අපි ඔබතුමාට ඡන්දය දෙනවා.” යැයි උද්ඝෝෂණයේ නියැළී සිටි පිරිස තරමක් සන්සුන් වෙමින් පැවසූහ.  – රාජකීය හෑල්ල – රුවන් පතිරණ

පුවත යවන්න