විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් අද යළි විභාගයට

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි, ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් විභාගය අද පෙරවරුවේ යළි ආරම්භ වනවා.

ඒ දෙවන දිනටයි.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නීතිපතිවරයා ඊයේ අධිකරණයෙන් කල් ඉල්ලා සිටියද මෙ අත්‍යාවශ්‍ය පෙත්සම් විභාගයක් බැවින් අද දිනයේදී අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ අතර හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඉදිරිපත් කළ පෙත්සම පළමුව සලකා බැලුණා.

එහිදි ඔහු වෙනුවෙන් කරුණු දැක්වූයේ නීතිඥ එස්. කනගේෂ්වරන් මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළ හොත් පමණක් මිස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට නොමැති බවයි.

එසේ නොකර තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිම ජනමතය නොසලකා හැරීමක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තිරණය ජනතා පරිමාධිපත්‍ය කඩ කිරීමක් බවයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂිම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ තිලක් මාරපන මහතා ද ජනාධිපති නිතිඥ එස්. කනගේෂ්වරන් මහතාගේ කරුණු දැක්වීම අනුමත කරමින් කරුණු ඉදිරිපත් කළා.

ජනතා විමුක්ති, පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ නියෝජනය කරමින්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුර්දීන්, මනෝ ගනේෂන්, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් මෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු නිතිඥ අරුණ ලක්සිරි , නිතිඥ ලාල් විජේනායක, නිතිඥ ජී. සී. ජේ. පෙරේරා, නීතිඥ ඉන්දික ගාල්ලගේ යන පාර්ශවද මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.

මීට අමතරව ජාතික මැතිවරණ කොමිසමේ සමාජික රත්නජිව හූල් මහතා ද පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.