ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා එසේ කියා තිබෙන්නේ මේ ජූලි 19 වැනිදාය. ඒ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් සංවිධානය කරනු ලැබ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැති සම්මන්ත්‍රණයකදීය. ඒ කියන නරක තත්ත්වය ඇතිවුවහොත් රටේ නිෂ්පාදන ධාරිතාව අඩුවී, ආර්ථික වර්ධනය පහත වැටී නව රැකියා බිහි නොවී ජනතාවගේ ආදායම් අඩු විය හැකි බවත් ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා කියයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිර්දේශ මත ලංකා ආණ්ඩුව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණවලින් රටේ ජනතාවට වන බලපෑම පිළිබඳව මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව හෝ කතා නොකරයි. 2022 අප්‍රේල් 12 වැනිදා ප්‍රකාශයට පත් කළ පරිදිම, ලංකාව දැනටත් සිටින්නේ ආර්ථිකමය වශයෙන් බංකොළොත්වය.
ආණ්ඩුවේ නායකයා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කියන්නේ ගෙදරක ආර්ථික ප්‍රශ්න ඇති වූ විගස පොලී මුදලාලි ළඟට යන බවය. එසේ ගොස් නිවසේ තිබෙන දෙයක් විකුණා හෝ ජීවත් වන බවය. එ.ජා.ප. මහලේකම්වරයා කියන හැටියට වර්තමාන ආණ්ඩුව රට සම්බන්ධයෙන් අනුගමනය කරන්නට යන්නේත් ඒ පිළිවෙතය. ගැමි ව්‍යවහාරයෙන් කියතොත් එය විකුණාගෙන කෑමකි. එහෙත් එමගින් දැනටත් දැඩිව පීඩිතව සිටින ලක්ෂ 55කට වැඩි ජනතාවට වන බලපෑම් ගැන කිසිවෙක් කතා නොකරති.
සමාජ ආරක්ෂණ ජාලය වඩා ශක්තිමත් කළ යුතු බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා කියයි. සමෘද්ධි සහනාධාර ක්‍රමය අවලංගු කර අස්වැසුම හඳුන්වා දුන්නේ ඒ සඳහාය. එහෙත් අස්වැසුම යටතේ සහනාධාර ලැබිය යුත්තන්ටම, සහනාධාර ලැබෙන බව නිශ්චිතව හා සහතිකවම කිව නොහැකි බව ඒ ක්‍රියාවලිය භාරව සිටින ප්‍රධානතම රාජ්‍ය නිලධාරියත් කියයි. අස්වැසුම දීම සඳහාත් නුසුදුසු පුද්ගලයන් තෝරාගෙන නැති බවටත් චෝදනා එල්ල වෙයි.
දෙවැනි වටය සඳහා තවත් අයදුම්පත් මිලියන ගණනක් ලැබී තිබෙන්නේ එහෙයිනි. ඒ තොරතුරුවලින් අනාවරණය වන්නේ අස්වැසුම සහනාධාර ව්‍යාපෘතිය මගින් අස්වැසුමක් විය යුතු ජනතාවට අස්වැසුමක් වී නැති බවය. සහන ලැබිය යුත්තන්ට සහන නොදී අත් පිස ගැනීමේ උත්සාහයක ආණ්ඩුව නිරතව තිබෙන බව ඒ තොරතුරුවලින් අනාවරණය වෙයි.
බදු වැඩිකිරීම, විදුලිය හා ජල ගාස්තු ඉහළ නැංවීම, සේවා ගාස්තු ඉහළ නැංවීම දිගටම සිදු වෙයි. එමගින් කර තිබෙන්නේ ආර්ථික අර්බුදයේ බරට මැති ඇමැතිවරුන් කර නොගසා ඒ සමස්ත බර ජනාතව මත පැටවීමය. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, තක්සේරුකරුවන් වැනි වෘත්තිකයන් මත පනවා තිබෙන බදු ඔවුහු තම සේවා ගාස්තු ඉහළ නැංවීම මගින් සාමාන්‍ය ජනතාව මත පැටවීමට පෙළඹී සිටිති. පශ්චාත් උපාධි වැනි පාඨමාලාවල උගන්වන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සියට 36ක බද්දකට යටත් කර තිබේ. ඒ නිසා ඒවායේ ඉගැන්වීමට යාමෙන් ඔවුහු වැළකී සිටිති. එවිට ඒ ආයතන ශිෂ්‍යයන්ගෙන් අය කරන ගාස්තු ඉහළ නංවයි. එසේ ඉහළ නංවන්නේ සියයට 36ක් වූ ඉහත කී බද්දය.
දේශකයා ගෙවිය යුතු බද්ද සිසුන්ගෙන් අය කරගෙන ලබා දෙන නිසා එතෙක් දේශනවලට නොගිය දේශකයෝ යළි දේශනවලට යති. ඊට හේතුව තමන් ගෙවිය යුතු බද්ද සිසුන්ගෙන් අය කර දෙන නිසාය. ආණ්ඩුව මගින් පනවන බදු, දඩ හා සේවා ගාස්තු පීඩිත ජනයා මතම පැටවෙන්නේ එලෙසිනි. වෛද්‍යවරුත් එයම කරති. රුපියල් 2000ක් වූ චැනල් ගාස්තුව දැන් 3100කි. ටියුෂන් ගුරුවරුත් එලෙසම කරති. කවුරු කවුරුත් එසේ කිරීමෙන් අවසානයේ ඒ බර පැටවෙන්නේ දැනටත් පීඩිතව සිටින ජනතාව මතය. ජනතාවට උසුලන්නට බැරි තරමට එසේ බර පටවන්නේ ආණ්ඩුවයි.
එහෙත් ආණ්ඩු කරන්නෝ මේ බරට කරගසන බවක් නොපෙනෙයි. ඔවුහු තම සුඛෝපභෝගී දිවි පැවැත්ම එලෙසින්ම පවත්වාගෙන යති. මහජනයා මත දඩ හා ණය බර පටවමින් ලබාගන්නා වැටුප් හා දීමනා ඇතුළු වෙනත් වරප්‍රසාද අඩුකර ගත් බවක් හෝ කපා හළ බවක් නොපෙනෙයි. නොකියැවෙයි. ජනතාව දහ දුක් විඳිද්දී ඒ ඇතැමුන් නගන්නේ තමන්ට ඇමැතිකම් නොදෙන බවට මැසිවිලිය.
මේ ආර්ථික අර්බුදයේ නිර්මාතෘවරු ඔවුහුය. ඒ ආර්ථික ඝාතකයන් එසේ සුවසේ සැපසේ සිටිය දී පීඩිත ජනතාව මත තව තවත් බර පැටවීමෙන් ලෝකු බැංකු අධ්‍යක්ෂවරයා කියන තත්ත්වය ඇති වන බව නිසැකය.
රටේ දැනට පවතින ආර්ථික බංකොළොත්භාවය දිගින් දිගටම පැවතුණහොත් එසේ වන බව ලෝක බැංකු අධ්‍යක්ෂවරයා කියන්නේ මේ ආර්ථික බංකොලොත්භාවය දිගටම පවතින බව ඔවුන්ට පෙනෙන නිසා විය යුතුය. අනෙක් අතට ඒ ප්‍රකාශයෙන් ව්‍යංගාර්ථවත් වන්නේ ආර්ථික බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට අවශ්‍ය නිෂ්පාදනය මූලික කරගත් ආර්ථික සංවර්ධන සැලැස්මක් හෝ වැඩපිළිවෙළක් වර්තමාන ආණ්ඩුවට නොමැති බවය.
එවැනි පරිසරයක රටේ සිටින උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් රට හැරයාම අරුමයක් නොවේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්තවලට අනුව 2019 දී රට හැර ගිය වෘත්තිකයන් ගණන 9,861කි. 2020දී 2,957කි. 2021දී එය 8,575කි. 2022 දී එය 14,307ක් දක්වා ඉහළ නැග තිබේ. ඒ අනුව 2021 සාපේක්ෂව 2022දී වෘත්තිකයන් රට හැරයාම සියයට 67කින් ඉහළ ගොසිනි. මේ 2023දී එය කෙතෙක් වැඩි වී තිබේ දැයි තවමත් අනාවරණය නොවෙයි.
වෘත්තිකයන් පමණක් නොව මධ්‍යම මට්ටමේ කලාකරුවෝ ද රට හැර යති. 2019දී එසේ රට හැර ගිය ගණන 5,725කි. 2020දී එය 1496කි. 2021 දී එය 4,267කි. 2022දී එය 8,130ක් දක්වා ඉහළ නගියි. ඒ අනුව 2021ට සාපේක්ෂව 2022 දී රට හැර ගිය මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් සංඛ්‍යාව සියයට 91කින් ඉහළ ගොසිනි. රටේ දැනට පවතින අස්ථාවර පරිසරය මත 2023දී එය 2022ට වඩා ඉහළ ගොස් ඇතිවා නිසැකය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන හැටියට වෘත්තිකයන් හා මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් පමණක් නොව, පුහුණු ශ්‍රමිකයෝ ද රට හැර යති. 2019දී රට හැර ගිය පුහුණු ශ්‍රමිකයන් ගණන 62,711කි. 2020දී එය 16,642කි. 2021දී 40,390කි. 2022 දී එසේ රට හැර ගිය පුහුණු ශ්‍රමිකයන් ගණන 92,836කි. 2021 සාපේක්ෂව 2022 දී එහි වැඩිවීම සියයට 130කි. රටේ ජනතාව රට හැර යාමට දක්වන ඉහළ උනන්දුව ඒ සංඛ්‍යා දත්තවලින් අනාවරණය වෙයි. ඔවුන් එසේ රට හැර යන්නේ මෙරට සිටීමෙන් වර්තමානයක් නැති තමන්ට අනාගතයක් කිසිසේත්ම නැත යන තක්සේරුවෙනි.
රටේ ජනතාව හා ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතන එවැනි තක්සේරු කිරීම් කරන්නේ ලංකා ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය මතය. බදු හා සේවා ගාස්තු ඉහළ දැමීම, ණය ගැනීම සහ රාජ්‍යය ව්‍යවසාය විකිණීම හැර රට ඇතුළේ නිෂ්පාදනය ඉහළ නංවන ආර්ථික සංවර්ධන සැලැස්මක් ආණ්ඩුව සතුව නොමැති බව ඉතා පැහැදිලිය. ඒ බව කාටත් පෙනෙයි. ඒ පසුබිම මත ජනතාව හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන රට ගැන එවැනි නිගමනවලට එළඹීම සහේතුකය. සාධාරණය.
ආර්ථික අර්බුදය හේතුවෙන් ලක්ෂ පහකට පමණ රැකියා අහිමි වී තිබෙන බව විවිධ මූලාශ්‍රවලින් කියැවෙයි. එසේම දැනට රැකියා කරන අයගේ වැටුප් හා ආදායම ද පහළ ගොසිනි. එහෙත් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සියල්ලේම පාහේ මිල ඉහළ ගොසිනි. අතට ලැබෙන මුදල මාසේ වියදම තබා ජල විදුලි දුරකතන බිල් ගෙවීමට සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමටවත් ප්‍රමාණවත් නොවන පිරිස අතිවිශාලය. ඉදිකිරීම් කර්මාන්තය සහ තොග හා සිල්ලර වෙළෙඳාම හැකිළීම නිසා දවසේ වැටුපට කුලී වැඩ කළ ලක්ෂ ගණනාවකට දවසේ වියදම උපයා ගැනීමට දැන් කිසිම මාර්ගයක්, ක්‍රමයක් නැති තත්ත්වයක්ද රටේ උද්ගතව තිබේ.
ඒ නිසා ජනතාව ආහාරයට ගන්නා කෑම ප්‍රමාණයත් කන වේල් ගණනත් අඩුකර තිබෙන බව අපි හොඳින් දනිමු. ලෝක බැංකුව හා ලෝක ආහාර සංවිධානය ද ඒ ගැන නොයෙක් සංඛ්‍යා දත්ත ප්‍රකාශයට පත් කර තිබේ. එදා වේල පිරිමසා ගැනීමට තරම් ආදායමක් නැති පවුල්වල දරුවන්ට පාසල් යාමට නොලැබෙන බව ඒ අනුව ඉතා ප්‍රත්‍යක්ෂය. ඒ බැව් තහවුරු කරන ප්‍රවෘත්ති දැන් දැන් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යවලින් ද නිතර නිතර අනාවරණය වෙයි. පශ්චාත් උපාධි පාඨමාලාවලට ලියාපදිංචි වූ ඇතැම් අය පාඨමාලා ගාස්තු හා වෙනත් වියදම් ඉහළ යාම සහ ආදායම් කඩා වැටීම නිසා ඒ පාඨමාලා හැර යන බව ද අපට ප්‍රත්‍යක්ෂ සත්‍යයකි.
රට ඇතුළේ නිෂ්පාදන වර්ධනය නොවන රටක ආර්ථිකය හැකිළීම සහේතුකය. මිලදී ගැනීමේ ශක්තියක් නැති ජනතාවක් සිටින රටක ආර්ථිකයක් වර්ධනය නොවෙයි. ආර්ථිකය වර්ධනය වන්නේ දෙස් විදෙස් ආයෝජනවලිනි. රට ඇතුළේ තිබෙන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය නිසා විදෙස් ආයෝජකයන් රටට එතැයි සිතීම උගහටය. රාජ්‍ය ප්‍රතිපත්ති හා ණය පොලී අනුපාත තවමත් ඉහළ මට්ටමක පැවැතීම නිසා දේශීය ආයෝජකයෝ ද ආයෝජනයට ඉදිරිපත් නොවෙති.
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කළ බව සත්‍යයකි. ඊට සාපේක්ෂව සියලු බැංකු තැන්පතු සඳහා ගෙවන පොලිය සියයට 100කින් පමණ අඩුකර තිබේ. එහෙත් ඊට සාපේක්ෂව ණය පොලී අනුපාත පහත නොදමයි. බැංකු අධීක්ෂකයා හා පාලකයා වන මහ බැංකුව ණය පොලිය අඩු කරන්නැයි බැංකුවලට නියෝග නොකර කෙඳිරි ගායි.
ආණ්ඩුව, මහ බැංකුව හා වාණිජ බැංකු අතර අශුද්ධ සන්ධානයක් තිබෙන බව ඉන් අනාවරණය වෙයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ බර වැඩ කරන ජනතාවගේ විශ්‍රාම වැටුප් අරමුදල මත පටවා ඒ බරින් බැංකු නිදහස් කිරීමෙන් ඒ අශුද්ධ සන්ධානයේ තරම ද රටට ප්‍රදර්ශනය වෙයි. මේ ‘‘ගේම්’’ නිසා රටේ ආර්ථිකය තව තවත් හැකිළෙනවා මිස වර්ධනය නොවෙයි. එසේ වූ කල සමාගම්වලට තම පැවැත්ම සඳහා වත්කම් විකිණීමට සිදුවීම ද තාර්කිකය.
රටේ පවතින මේ අර්බුදවලට ප්‍රමුඛ හේතුව ආර්ථික අර්බුදයයි. ඒ ආර්ථික අර්බුදයට හේතුව දේශපාලන ව්‍යාකූලත්වයයි. දේශපාලන අස්ථාවරත්වයයි. ආණ්ඩුකරණයේ අකාර්යක්ෂමතාව සහ කළමනාකරණයකින් තොර ආණ්ඩුකරණයයි. එසේ නම් ආර්ථික අර්බුදයට හේතුව ඉතා පැහැදිලිය. ඒ හේතුව දේශපාලන අස්ථාවරත්වයයි. ඒ හේතුව ඉවත් නොකර ඵලයට ප්‍රතිකාර කළ නොහැකිය. ඒ ප්‍රතිකාරය කළ හැක්කේ මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමෙනි.
ඒ මැතිවරණයකින් දැනට බලයේ සිටින අය යළි බලයට පත් වුවත් ඒ ආණ්ඩුව සුජාතය. හේතුව එය ජනතා කැමැත්ත වන හෙයිනි. එහෙයින් ජනතා කැමැත්තට වහාම ඉඩ දිය යුතුය. එමගින් දේශපාලන අස්ථාවරත්වය දුරුවෙයි. දේශපාලන අස්ථාවරත්වය අහෝසි වූ කල ආර්ථික බංකොළොත් භාවයට පිළියම් යෙදීම පහසු වෙයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාත විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම
සාකච්ඡා සටහන – ගුණසිංහ හේරත්