වෛද්‍ය සිසුන්ට පහරදීම ගැන පොලිස් ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයට පිටස්තර පුද්ගලයින් පිරිසක් ඇතුළු වී සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් විධිමත් හා පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

පහරදීමෙන් අනතුරුව පිරිස එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර පහරදීම සඳහා පැමිණි එක් පුද්ගලයෙක් සහ මෝටර් රථයක් එහිදී සිසුන් ග්‍රහණයට ගෙන තිබුණා.

අදාළ මෝටර් රථය පොල් සංවර්ධන අධිකාරියට අයත් වන අතර එහි තිබී රාජකාරි හැඳුනුම්පතක් සොයාගනු ලැබුවා.

2018 වසරේ නිකුත් කළ එකක් වන එම හැඳුනුම්පත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරෙකුට අයත් බව එහි සදහන්.

“ඒ සම්බන්ධයෙන් මම පොලිස්පතිතුමාට ඉතාම විදිමත් හා පුර්ණ පරීක්ෂණයක් පවත්වන්න කියලා දැනටමත් නියෝග දීලා තියෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර විසින්, ඔහුගේ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැලණිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවලා තියෙනවා මේ සම්බන්ධ අදාළ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගන්න. ඒ වගේම රාජ්‍ය ආයතනයකට අයත් මෝටර් රථයක් සහ ඒ රියදුරා වෛද්‍ය පීඨයේ සිසුන් විසින් අත්අඩංගුවට අරගෙන පොලීසියට භාරදීලා තියෙනවා. ඔහු රාගම පොලීසියේ අත්අඩංගුවේ සිටින්නේ. පුද්ගලික, තාක්ෂණික, විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. මේ සියලුම සාක්ෂි ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියලා තියෙන්නේ. ඒ අනුව සියලුම පුද්ගලයින් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම පොලිස්පතිතුමාට විශේෂ නියෝගයක් දුන්නා.”

පුවත යවන්න