අපනයන ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට නොහැකි වීම සහ ආසියාවේ වෙනත් රටවල් කිහිපයක් තරගකාරීව වෙළෙඳපොල වෙත ඉදිරිපත්වීම නිසා ඉදිරියේ දී මෙරටට ඇති පළතුරු සහ එළවළු අපනයන ඉල්ලුම අහිමිවී යාමේ අවදානමක් මතුවෙමින් ඇතැයි අපනයනකරුවෝ පවසති.
දැනට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ, අපනයනය සඳහා අවශ්‍ය පළතුරු සහ එළවළු වර්ගවල මිල අධිකවීම නිසා ඒවා සොයාගැනීම ගැටළුවක් වීම මීට හේතුව යි.
ඒ අනුව කෙසෙල්, අන්නාසි, පේර, ගස්ලබු, කොමඩු, අඹ යන පළතුරු අපනයනය සඳහා ඇති ඉල්ලුම ශ්‍රී ලංකාවෙන් ගිලිහී යාමේ විශාල ඉඩක් මතුව ඇතැයි අපනයනකරුවෝ පවසති.
මාලදිවයින, ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, නේපාලය, චීනය, පාකිස්ථානය, බංගලාදේශය ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට අයත්ව තිබූ පළතුරු සහ එළවළු අපනයනය වෙළඳපොළ නතුකර ගනිමින් සිටින බව ඔවුන් පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසුමක දී ශ්‍රී ලංකා පළතුරු සහ එළවළු සැකසුම් අපනයන සංගමයේ සභාපති ජගත් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, වැඩිම ඉල්ලුමක් එළවළුවලට වඩා පළතුරුවලට ඇති බැවින් ඒවා සොයාගැනීම අපහසුව ඇති බවයි.
පවතින මිල ගණන් අධිකවීම නිසා අපනයන ක්‍රියාවලිය ද අඩපණ වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ පළතුරු සඳහා අධික ඉල්ලුමක් පවතින්නේ මැදපෙරදිග රටවලට බැවින් එම ඉල්ලුම සපුරාලීමට නොහැකිවීමෙන් එම රටවල් එළවළු සහ පළතුරු අපනයනය කරන වෙනත් රටවල් වෙත නැඹුරුවීමේ ඉඩක් පවතින බව අපයනයනකරුවෝ පවසති.
තම සංගමයේ සාමාජිකයින් 65 දෙනෙකු අපනයන කටයුතු කරන බවත්, පවතින දුෂ්කරතාවය හමුවේ වුව ද අපනයනය කිරීමේ ප්රයත්නයක නිරතව සිටින බවත් ජගත් ප්‍රනාන්දු සඳහන් කරයි.
ශ්‍රී ලංකා පළතුරු සහ එළවළු සැකසුම් අපනයන සංගමයේ මාධ්‍ය ප්‍රකාශිකා චරින්දි රණසිංහ ප්‍රකාශ කරන්නේ මේ වන විට නැව් ගාස්තු ද ඉහළ ගොස් ඇති නිසා අපනයනයට බාධා මතුව ඇති බව යි.
එහෙත් පළතුරු මිළ ඉහළයාමට මෙරට මතු වූ පොහොර ගැටලුව මෙතෙක් බලපෑමක් නොවූ අතර, එය එළබෙන මැයි මාසයේ ලැබෙන ඵලදාව මත රඳා පවතින බව ඇය සඳහන් කළා ය.
විදේශයන් සඳහා එළවළු සහ පළතුරු අපනයනය තුළින් ශ්‍රී ලංකාව වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 80ත් 90ත් අතර විදේශ විනිමයක් ලබා ගැනීමට හැකි නමුත්, පසුගිය වසර තුළ දී එම ආදායම අඩුවී ඇති බව චරින්දි රණසිංහවැඩිදුරටත් සඳහන් කළා ය.
ශ්‍රී ලංකාවේ “ඌණ භාවිත පළතුරු” හෙවත් ගම්බද පළාත්හි වැවෙන පළතුරු වර්ග 75ක් ජාත්‍යන්තර වෙළඳපොළට අපනයනය කිරීමට මිට වසර කිහිපයකට පෙර දී කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවට යෝජනා කළත්, ඒ සඳහා අවධානයක් නොලැබුණු බව කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ආචාර්ය එස්. සුබහීන්කෙන්ද පවසයි.
එම පළතුරු වර්ග එකතු කළ අගය මත ජාත්‍යන්තර වෙළඳපොළට අපනයනය කිරීමේ හැකියාවක් පවතින බැවින්, ඒ සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාල 150කට අධික සංඛ්‍යාවක සහය ලබා ගැනීමට යෝජනා වී ඇත.
මෙම පළතුරු අතර ශ්‍රී ලංකාවට ආවේනික පළතුරු වර්ග ද තිබූ බැවින්, ලෝකයේ වෙන කිසිදු රටක් ඒ සඳහා තරග කිරීමට ඉදිරිපත් නොවන බවට තමාට සහතිකයක් දිය හැකියැ යි ආචාර්ය සුබහීන්කෙන්ද අවධාරණය කරයි.
අපනයනයට යෝජිත ඌණ භාවිත පළතුරු වර්ග අතර නස්නාරං, නාරං, නමිනං, මා දං, වෙරළු, ලොවි, කිරල, ගල්සියඹලා, මසන්, ගඩුගුඩා, ජම්බු, උගුරැස්ස, ජම්බෝල, පිනි ජම්බු, ඇඹරැල්ල, වරකා, ටන්ටින්, පලු, වීර, දිවුල්, බෙලි, බෙහෙත් නෙල්ලි, සහ නෙල්ලි තිබූ බව ඔහු සඳහන් කළේ ය.
මිට වසර කිහිපයකට පෙර කළ සමීක්ෂණයක දී හෙළිවී ඇත්තේ මෙරට තුළ වගාකර ඇති කොස් වලින් මෙට්‍රික් ටොන් 60,000කට අධික ප්‍රමාණයක් ද, දෙල් මෙට්‍රික් ටොන් 2000ක ප්‍රමාණයක් ද ගස්යට නරක් වී යන බව යි.
එම බෝග අපනයනය කිරීම සඳහා නිසි වෙළඳපොළක් ඇති කිරීමට උත්සහා කළේ නම් විදේශ විනිමය ඇති තරම් ලංකාවට රැගෙන ඒමට හැකියාවක් තෙබෙන බවට ඔහු පැවසීය.
මේ වන විට දිළිඳු බව තුරන් කරමින් මෙරට කෘෂිකාර්මික රටක්බවට පත්කිරීම සඳහා විවිධ ආණ්ඩු යටතේ ප්‍රතිපත්ති 200ක් පමණ සකස් කෙරුණ ද ඒ වෙත ප්‍රමුඛස්ථානය ලබා නොදීම නිසා, ‘කෘෂිකාර්මික රටක්’ යන සංකල්පය සමාජයෙන් ගිලිහි ගිය බව ආචාර්යවරයා පැවසීය.
මේ දිනවල රට තුළ එළවළුවල මිළ ගණන් අධිකලෙස ඉහළ ගොස් ඇති නිසා කොස්, දෙල් ඇබැරැල්ලා සහ අඹවලට ඇති ඉල්ලුම ඉහළගොස් ඇතත්, ඒවා සොයා ගැනීම පවා අසීරු වී ඇති බව ඔහු සඳහන් කරයි.
මේ සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ඌණ භාවිත පළතුරු සහ පළතුරු අපනයනය සම්බන්ධව තමා දැනුවත් නොමැති අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් (EDB) කරුණු විමසන ලෙසයි.
ශ්‍රී ලංකාවේ පළතුරුවලට ඇති ඉල්ලුම ඒ ආකාරයෙන්ම පවතින බවත් ඒ ගැන ශ්‍රී ලංකා පළතුරු සහ එළවලු සැකසුම් අපනයන සංගමයෙන් දැනගත යුතු යතු බවයි.
මේ සම්බන්ධව අදහස් දැක්වූ කටුනායක ජාතික ශාක නිරෝදායන සේවයේ අධ්යක්ෂ ආචාර්ය ඒ.ආර්.ටී.වික්‍රමාරච්චි සඳහන් කළේ පසුගිය කාලය තුලදී මතු වූ රසායනික පොහොර අර්බුදය නිසා කෙසෙල්,අන්නාසි,ගස්ලබු,කොමඩු,අඹ යන පළතුරුවල හිගයක් දැනට රට තුළ පවතින බවයි.
එයට අමතරව රටේ උද්දමනය අධික ඉහළ ගොස් ඇති පසුබිමක අධික මිල ගණන් යටතේ පළතුරු වර්ග මිලදී ගැනීමට අපනයනකරුවන්ට සිදු වී ඇති බවත් ඔහු පැවසීය.
මේ අතර අධික ලෙස ඉහළ ගොස් ඇති ප්‍රවාහන, නැව් ගාස්තු නිසා එම රටවල් ඉල්ලන කලින් මුදලටම සැපයුම ලබා දීමට නොහැකි තත්වයක් මතුව ඇති බව ඔහු සඳහන් කරයි.
මෙරට ඌණ භාවිත පළතුරු වර්ග එකතු කල අගය මත ජාතන්තර වෙළඳ පොළට හඳුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දැනටමත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ඔහු වැඩි දුරටත් පැවසිය.
කෙසෙල් ටොන් ගණනක අපනයන ඇනවුමක් කෘෂිකර්මයේ නොසැලකිල්ලෙන් අහිමිවෙයි
මසකට කෙසෙල් මෙට්‍රික් ටොන් 2000ක් අපනයනය කිරීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා අහිමිවී ගොස් ඇතිබව ද වාර්තා වෙයි.
දෙරට අතර ඇතිකරගත් එම ගිවිසුමට අනුව සිදුකළ යුතුව තිබුණේ, කෙසෙල් වගාකරන ගොවීන් 150කගේ ජීව දත්ත චීන රජයට ලබා දී කෙසෙල් ඇසුරුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම පමණක් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ය.
ගොවීන්ගේ ලිපිනය, වගා කෙරෙන කෙසෙල් වර්ගය, අපනයනය සඳහා කොපමණ කෙසෙල් ප්‍රමාණයක් දිය හැකි ද යන තොරතුරු එම දත්ත අතර තිබුණි.
ඒ අනුව, සතියකට කෙසෙල් මෙට්‍රික් ටොන් 500 බැගින් මසකට ටොන් 2000ක කෙසෙල් චීනයට අපනයනය කිරිමට එම ගිවිසුමට අනුව සැලසුම්කර තිබුණි.
2015 වසරේ දී දෙරට අතර අත්සන් කෙරුණු මෙම ගිවිසුම ක්‍රියාත්මක කරන ලෙස එවකට මෙරට හිටපු චීන තානාපතිවරයා වසර දෙකකට ආසන්න කාලයක සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඉල්ලීම් කිහිපයක්ම කරනු ලැබූ නමුත්, කෙසෙල් ගොවින් 150කගේ ජීව දත්ත ලබාදීමට කෘෂි කර්ම දෙපාර්තමේන්තුව අපොහොසත් විය.
අදාළ ගිවිසුමට අනුව, මෙරට වගා කෙරෙන ඇම්බුන්, ඇඹුල්, කෝලිකුට්ටු, රතබලා හෙවත් රත් කෙසෙල් යන කෙසෙල් වර්ග විශේෂ SL GAP කේතයක් යටතේ අපනයනය කිරීමටත්, චීනයේ ඕනෑම වරායකට එම කෙසෙල් තොග ගොඩබෑමටත් අවස්ථාව චීන රජය විසින් ලබාදුන් අවස්ථාව පැහැර හැරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එවකට සිටි උසස් නිලධාරීන් ක්‍රියාකර ඇත.
මේ සම්බන්ධව සොයා බැලීම සඳහා චීනයේ සිට විශේෂඥ කණ්ඩායමක් මෙහි පැමිණ වෙනම අධ්‍යයනයක් ද සිදුකර ඇති අතර, ඒ වෙනුවෙන් වෙනම කෙසෙල් ඇතුළු පළතුරු ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.
එම කෙසෙල් අපනයන ගිවිසුම ක්‍රියාත්මක වූයේ නම්, ඊළඟ පියවර ලෙස මුළු ලංකාවම කෙසෙල් වගා කෙරුව ද චීන වෙළඳපොළට ඒවා අපනයනය කිරීමේ හැකියාව පැවතුනු අතර අඹ, පැපොල්, අන්නාසි අපනයන ගිවිසුමක් ද ක්‍රියාත්මක කිරීමට චීනය සූදානමින් සිටි බව ආචාර්ය සුබ හීන්කෙන්ද ප්‍රකාශ කරයි.
රටක් ලෙස මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට බලධාරීන් ක්‍රියා නොකිරීම සම්බන්ධව කණගාටු වෙන අතර, යළි මෙවැනි අවස්ථාවක් නොලැබෙනු ඇතැ යි තමා විශ්වාසය කරන බව ද ඔහු පවසයි.
මේ වන විට චීන වෙළඳපොළට කෙසෙල් අපනයනය වෙනත් ආසියාතික රටවල් විසින් සිදුවන බැවින් යළි එම අවස්ථාව ලබා ගැනීමට නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අප කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාගෙන් චීනයට කෙසෙල් ටොන් 2000ක අපනයන ඇනවුමක් ලැබුණත් එක කෙසෙල් ගෙඩියක් යැවීමට නොහැකිවීම පිළිබඳවත් විමසීමක් කළේය.
ඔහු සඳහන් කළේ එවැනි කෙසෙල් අපනයනය කිරීමක් පිළිබඳවත් ඔහු දැනුවත් නොමැති බවයි.
චීනයට කෙසෙල් අපනයනය සම්බන්ධයෙන් අදහස් පළකළ ජාතික ශාක නිරෝදායන සේවයේ අධ්යක්ෂ ආචාර්ය ඒ.ආර්.ටී.වික්‍රමාරච්චි සඳහන් කළේ එම ගිවිසුම යලි සක්‍රිය කිරීමට පියවර ගනිමින් සිටින අතර චීනය ඉල්ලන පරිදි ගුණාත්මකභාවයෙන් ඉහළ, ප්‍රමිතියෙන් උසස් කෙසෙල් නිෂ්පාදනයට ගොවීන් එම අවස්ථාවේදී සුදානම් නොමැතිවීම නිසා එම ඇනවුම් ලබා දීමට නොහැකි වී තිබුණු බවයි.
එම අවස්ථාවේදී චීනය විසින් ලබා දුන් එම ඇනවුම ලබා ගැනීමට මෙරට පිහිටි එක සමාගමක් පමණක් ඉදිරිපත් වූ නමුත් එයද චීනය ඉල්ලන ලැබූ කෙසෙල් ප්‍රබේද වර්ග ලබා දීමට නොහැකි වීම නිසා එම සමාගම ද ප්‍රතික්ෂේප වී තිබුණු බවයි.
එහෙත් චීනයට මෙන්ම අනෙකුත් විදේශීය රටවල් සඳහා ශ්‍රී ලංකාවේ පළතුරු අපනයනය කිරීම සඳහා ගොවීන් පුහුණු කිරීමේ වැඩසටහන්,අපනයන තත්ත්වයේ ප්‍රමිතියෙන් උසස් ඇසුරුම්කරණය මෙන්ම අපනයන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් දැනටමත් ආරම්භ කර ඇති බව එහි අධ්යක්ෂ ආචාර්ය ඒ.ආර්.ටී.වික්‍රමාරච්චි පැවසීය.
රටේ නිසියාකාර කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නොමැති වීම මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පවතින යම් යම් දුර්වලතා හේතුවෙන් කෘෂි බෝග අපනයනයට බාධා එල්ල වී ඇති අතර එය නිවැරදි කරගෙන ගොවීන් සඳහා නව වැඩපිළිවෙලක් සකස්කළ යුතුව තිබෙන බවත් ඔහු පැවසීය.