ශ්‍රේෂ්ඨත්වය පුහුණුකරන්න – රුවන් සමරසිංහ

ශ්‍රේෂ්ඨත්වය ඔබ තුළම පවතී. වටපිටාවේද පවතී එය අත්විඳින්න. දකින්න. ශ්‍රේෂ්ඨ ගතිගුණ පුහුණු කරන්න. ඔබ තුළ ශ්‍රේෂ්ඨ ගතිගුණ වගා කර ගන්න. එවිට ජිවිතය අසිරිමත් වනු ඇත. ඔබේ මෙන්ම ඔබේ පවුලේ පැවැත්මද සුන්දර වනු ඇත. සෑම විටම හොඳ ගතිගුණ හුරු පුරුදු ඔබේ ජිවිතයට එක්කර ගන්න. ටිකෙන් ටික පුහුණූ වන්න. එකින් එක පුහුණූ වන්න. නිබඳවම ශ්‍රේෂ්ඨ ගතිගුණ පුහුණු කරන්න.

විවේකීව හා විමසිල්ලෙන් ඔබේ දෙස බලන්න. ඔබ කොතෙක් උදාර සිතිවිලි සමග ජිවත්වන්නේදැයි සිතා බලන්න. ඔබේ ගතිගුණවල ස්වභාවය ඔබෙගේ ස්වභාවයයි. ඔබ වඩාත් ප්‍රිය කරන ගුණාංග ඔබ තුළම පවතින්නේදැයි විමසන්න. ශ්‍රේෂ්ඨ ගුණාංග ත්‍වනත් අයෙකු තුළ පවතින බව දුටු වහාම ඔබත් ඒවා ඔබේ ජිවිතයට ආදේශ කරගන්න. මදක් විමසිලිමත් වන්නේ නම් වට පිටාවෙන් ඔබට අපමණ විශිෂ්ට ගුණාංග ඊගෙන ගැනීමට හැකි වනු ඇත.
වෙලාවට වැඩ කරන ඔබේ මිතුරෙකු හෝ මිතුරියක ගැන සිතන්න. ඔහුගේ හෝ ඇයගේ අනෙක් කටයුතු පිළිබඳ ඔබට කොතෙක් විවේචන තිබුණද වෙලාවට වැඩ කිරීමේ ගුණාංගය ඔහුගෙන් හෝ ඇගෙන් ඔබට ඉගෙන ගත හැකිය. කලට වේලවට වැඩ කිරීම ශ්‍රේෂ්ඨ ගුණාංගයකි. ජිවිතයේ සාර්ථකත්වයට මා හැඟි රුකුලකි. එබැවින් ඔබේ ගුණාංග අතරට එයද එක්කර ගන්න.
කොතරම් දුශ්කරතා මධ්‍යයේ වුවද පොරොන්දු නිසි පරිදි ඉටු කරන අය වෙති. ඔවුන්ගෙන් එම උදාර ගුණය ඔබට ඉගෙන ගත හැකි නොවේද. පොරොන්දු ඉටු කරන්නෝ සැබෑ වීරයෝය. එම වීර ගුණය ඔබත් හුරු කරන්න.
ඉවසීම තවත් මහරු ගුණාංගයකි. ඔබේ වටපිටාවේ හොඳින් ඉවසීම ප්‍රගුණ කළ අය නැතුවා නොවේ. ඔවුන්ගෙන් ඔබට එම විශිෂ්ට ගුණාංගය ඉගෙන ගත හැකිය. කොපමන බාධක පැමිණියද සංසුන්ව පියවරෙන් පියවර ඉදිරියට අයන අය අපට සමාජය තුළින් දැක ගත හැකිය. එම ගුණාංගය ඔවුන්ගෙන් ඉගෙනීමෙන් පෝෂණය වන්නේ ඔබේ ජිවිතයයි.
මෙලෙෂ කොපමණ ශ්‍රේෂ්ඨ ගුණාංග සහිත වුවන් ඔබේ වට පිටාවෙන් සොයා ගැනීම අපහසු නොවේ. ඇතැම් විට දුර්වලතා රැසක් මැද එකම එක විශිෂ්ට ගුණාංගයක් පමණක් ඇති අය ඔබට හමුවී ඇතිවාට සැකයක් නැත. එබැවින් ඔවුන්ගේ දුර්වලතා විවේචනය කිරීමට පෙර ඔවුන් තුළ ඇති ශ්‍රේෂ්ඨ එකම එක ගුණාංගය හෝ ඔබ ඉගෙන ගන්න. එලෙස ඔබේ මනස වීවෘත කර ගත් කල්හී ඔබේ අසලම සිටින අසමසම චරිත ඔබට පහසුවෙන් දැක ගත හැකි වනු ඇත. විවේචන පසෙකලා ඔවුන්ගෙන් ගත යුතු දේ ගන්න. ඔබේ ජිවිතය අසිරිමත් කර ගන්න.

රුවන් සමරසිංහගේ  @ “ජීවිතය අසිරිමත්” කෘතිය ඇසුරෙන්.

http://uwansamarasinghe.com

පුවත යවන්න