ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රජාතන්තවාදයට දිරියක් / ජේ සී අලවතුවල

මෙරට තුල තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබාදුන් වාරණ නියෝගය තුලින් තහවුරු වන බව ස්වදේශ කටයුතු හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අලවතුවල මහතා කියා සිටියේ එය එක්සත් ජාතික පක්ෂයේ හෝ මේ සදහා සම්බන්ධවූ එක් කණ්ඩායමක ජයක් නොව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ථ ජනතාව ලද ජයග්‍රහණයක් බවයි.
ජනමතය වංචා කිරීමට කිසිවකුට අයිතියක් නොමැති අතරම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට සදාචාරාත්මක මෙන්ම නෛතික හිමිකමක්ද කිසිවකුට හෝ නොපවතින බව එයින් තහවුරු වන බවද ඔහු කියා සිටියා.
ඒ අනුව පාර්ලිමේන්තුව කඩිනමින් රැස්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල බහුතරය පෙන්නුම් කරන බවත් පැහැරගනු ලැබ ඇති ආණ්ඩු බලය යළි ප්‍රජාතන්ත්‍රවාදීව ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් මෙහිදී ජේ සී අලවතුවල මහතා අවධාරණය කළා.

මෙම එෛතිහාසික තීන්දුව සමග ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ජාත්‍යන්තරයේ පවා පිළිගැනීමට ලක්වන අතරම එය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හේතුවක් වන බවද ජේ සී අලවතුවල මහතා කියා සිටියා.