ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය අන්තර්ජාලයට දැමීම ගැන පරීක්ෂණ CID යට

කොවිඩ් අභියෝග මැද පැවැති දෙවැනි ශිෂ්‍යත්ව විභාගය නිමාවූයේ පසුගිය 22 වැනිදාය. මාස 6 කට ආසන්න කාලයක් ප්‍රමාද වී පැවැත්වුණු මෙවර ශිෂ්‍යත්ව අපේක්ෂකයෝ 340,508 දෙනෙක් විභාගයට පෙනි සිටි අතර මධ්‍යස්ථාන 2,943 ක් රට පුරා ක්‍රියාත්මක විය. එයින් විභාග මධ්‍යස්ථාන 99% ක සාර්ථකව විභාගය අවසන් වුවද, මධ්‍යස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් විවිධ චෝදනා මතුවූයේ සිදුවීම් කිහිපයක් මුල් කර ගනිමිනි.

‘සිංහල ප්‍රශ්න පත්‍රයට දෙමළ පත්‍රයට මාරු වෙලා දීලා‘

‘ප්‍රශ්න පත්‍ර කලින් පිටවෙලා‘

‘විභාග පත්‍රය විනාඩි 5 ක් ප්‍රමාද වී දීලා, කලින් එකතු කරලා…‘ ඒ චෝදනා අතර කිහිපයකි.

මෙම චෝදනා මතුවූයේ පළාත් අධ්‍යාපන කලාප කිහිපයක පාසල් දෙක තුනකය. හැටන් අධ්‍යාපන කලාපයේ ශාන්ත ගේබ්‍රියෙල් පාසල, මාවනැල්ල බද්දෙවෙල මහ විදුහල, ගල්ගමුව යූ. බි. වන්නිනායක විදුහල, වවුනියාව අධ්‍යාපන කලාපයේ බෝගස්වැව විදුහල, ගාල්ල නාගොඩ රාජකීය විදුහල, මහව තලාපොල වැව පාසල මෙන්ම වැලිමඩ විජය විදුහල ඒ අතර වෙයි. විභාග දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිලි අතර ඒ ඒ ශාලාවල සිදු වී ඇත්තේ විවිධ අසාධාරණතාය.

මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය යටතේ ඇති හැටන් ශාන්ත ගේබ්‍රියෙල් බාලිකා විදුහලේ සිසුවියන් 28 දෙනෙකුට විභාග ශාලාවේ ශාලාධිපතිනිය ඇතුළු විභාග කාර්ය මණ්ඩලයෙන් අසාධාරණ රැසක් සිදුව ඇති බව පවසමින් දෙමවුපියන්ගේ අත්සනින් යුතු ලියවිල්ලක් එදිනම විභාග කොමසාරිස්වරයාට බාර දී ඇතිබව වාර්තා වෙයි. ඔවුන් මතු කළ ප්‍රධාන චෝදනාව වූයේ විභාග ශාලා අංක 7191 දී සිංහල සිසුන්ට දෙමළ මාධ්‍ය පත්‍රයත්, දමිළ සිසුන්ට සිංහල මාධ්‍ය පත්‍රයත් ලබා දී ඇති බවකි. කෙසේ වෙතත් මෙම අවුල ලිහා සිසුන් යළි විභාගය ආරම්භ කරන විට විනාඩි පහක පමණ කාලයක් ගත වී තිබුණද , ගෙවි ගිය ඒ කාලය අමතරව ලබා නොදුන් බවත්, ලියමින් සිටි ප්‍රශ්න පත්‍ර කාලය හමාර වූ සැණින් ඉල්ලා ගත් බවත් කුඩා දරුවෝ චෝදනා කරති.

•ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව මතුවී ඇති මේ චෝදනා සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබුණද? දරුවන්ට අසාධාරණයක් සිදුවි ඇතිනම් ඊට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩි. ධර්මසේන,

“ලංකාවේ විභාග මධ්‍යස්ථාන 2940 ක විභාග රාජකාරි කටයුතු කිසිදු ප්‍රශ්නයක් නොමැතිව සිදුවුණා. ඒ වෙනුවෙන් සියලු නිලධාරින්ට මගේ ස්තුතිය පිරි නමනවා. නමුත් යූ. බි. වන්නිනායක විදුහල, වැලිමඩ විජය විදුහල මෙන්ම නාගොඩ රාජකීය විදුහල සම්බන්ධව පැමිණිලි ලැබුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශන තුනක් කරගෙන යනවා. අදාළ කලාපයෙන් , පළාතින් හා විභාග දෙපාර්තමේන්තුවෙන්. අසාධාරණයට ලක් වූ පාසල්වල අපේක්ෂකයන්ගේ ප්‍රශ්න පත්‍ර වෙනමම ලබා ගෙන විශේෂ කමිටුවකින් සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා ඒ සියල්ල යළි පරික්ෂා කෙරෙනවා. අනිකුත් ප්‍රශ්න මතුවු මධ්‍යස්ථාන වලත් මේ විමර්ශන කිරීමට සුදානම්. මේ ප්‍රශ්නයේදී යම් දරුවකුට අසාධාරණයක් සිදු වී ඇත්නම් අනිවාර්යෙන්ම ඒ දරුවන්ට සාධාරණයක් ඉටු කරනවා. “

•මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග ගැන සඳහන් කළොත් ?

“යම් මධ්‍යස්ථානයක ශාලාධිපතිවරයෙකු හෝ විභාග නිරීක්ෂකවරයෙකු වැරැද්දක් සිදු කර ඇත්නම් ඊට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්. ඉදිරියේදි කාලය පිළිබඳ ගැටලු ඇති නොවීමට විභාගයට පෙර, අවසන් වීමට පෙර හා අතරමඟ වේලාව දැනුම් දීමට මෙන්ම විභාග රාජකාරි කරන අයගේ හා සිසුන්ගේ ඔරලෝසු එකම වේලාවකට සකස් කිරීම ආදි ක්‍රියාමාර්ග රැසක් ගන්නවා. …“

•ප්‍රශ්න පත්‍රය පිටවීමක් සම්බන්ධයෙන් වාර්තා වුණා. එය ඇත්තද?

“කිසිසේත් ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමක් සිදුවූයේ නැහැ. සිදුවූයේ විභාගය අවසන් වී යමෙකු එය ඡායාරූපගත කර බෙදා හැරීමයි. සාමාන්‍යයෙන් විභාගය අවසන් වූ පසු විභාග ප්‍රශ්න පත්‍රයේ සියලු හිමිකම් පවතින්නේ විභාග කොමසාරිස් ජනරාල්වරයාට. ඒ නිසා විභාග කොමසාරිස්වරයාගේ අනවසරයෙන් මේ රහස්‍ය දේපළ ප්‍රසිද්ධ කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. මේ නිසා විභාගයෙන් පසුව යම් මධ්‍යස්ථානයක එම ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර සමාජ ජාලා වලට මුදා හැරීමක් සිදුවීද යන්න සොයා බැලීමට සි. අයි. ඩි යට බාර දී තියෙනවා. ඒ වගේම අදාළ පරික්ෂණ කටයුතු කිරීමටද පොලිස්පතිවරයාටද දැනුම් දුන්නා…”

පුවත යවන්න