සර්ව පාක්ෂික සමුළුව අද / පක්ෂ ගණනාවක් නෑ

සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඒ සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පසුගියදා රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණා.

මෙවැනි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා සෑම පක්ෂයකම අදහස් ලබාගැනීම එම යෝජනා අතර ප්‍රමුඛ වූ බව සඳහන්.

කෙසේවෙතත් මෙම සමුළුවට සහභාගී නොවීමට ප්‍රධාන විපක්ෂය ඇතුළු විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් තීරණය කර ඇති බව සඳහන්.

සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානය මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගීවිමට තීරණය කර තිබීම විශේෂත්වයක්

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුත් ඊට සහභාගී විමට නියමිතයි.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නියෝජනය කරමින් තිස්ස විතාන මන්ත්‍රීවරයා සහ අතුරලියේ රතන හිමි සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන බව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ලෙස සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය කළ බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ලංකා මහජන කොංග්‍රසය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවිමට තීරණය කළ බව එම පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කියා සිටියා.

පුවත යවන්න