සිමෙන්ති මිලදී නොගන්නැයි යළිත් ඉල්ලීමක්

සිමෙන්ති මිල යළිත් ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය සියලු ඉදිකිරීම් තාවකාලිකව නතර කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසුවේ හේතු රහිතව සිමෙන්ති මිල වැඩි කිරිමට විරෝධය පා මෙම පියවර ගත් බවයි.

“මේ වනවිට තම සංගමය සියලුම ඉදිකිරීම් නවත්වා තිබෙනවා. සාමාන්‍ය ජනතාවගෙන් ද ඉල්ලා සිටින්නේ සියලුම ඉදිකිරීම් නවත්තන කියලයි. ගිය පාරත් අපි ඒක කරලා සෑහෙන්න සාර්ථක වුණා.”

“විදේශ සමාගම් විසින් ගෙන්වන සිමෙන්ති මිලදී ගැනීම මහජනතාව නතර කළ යුතුයි. දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්තිත් මිල ගණන් අධ්‍යයනයක් කරන්න ඕනේ. දේශියව එන සිමෙන්ති හොඳටම ඇති ලංකාවට. ආනයන කරන සිමෙන්තිකරුවන් තමයි මේ මිල නියම කරන්නේ. ඒ මිල එහෙම්ම ම දේශීය නිෂ්පාදකයිනුත් නියම කරනවා.”

“ආනයනික සිමෙන්තිවලට තිත තබලා පාරිභෝගිකයා දේශීය සිමෙන්තිවලට ගියොත් බොහොම පහසුවෙන් සාධාරණ මිලකට එන්න පුළුවන්.”

“සාමාන්‍යයෙන් ලක්ෂ 150ක 200ක ගෙයක් හදනවා නම් දැන් තවත් ලක්ෂ 50ක විතර මිල වැඩිවීමක් තිබෙනවා.”

“2024 වසරේ වැඩ අවසන් කිරීම සඳහා රජය ගිවිසුම් ගතවෙලා තිබෙනවා ව්‍යාපෘති මිලියන 268,000ක.”    

“රුපියල් 1,750 ට 1,800 ට තිබ්බ සිමෙන්ති කොට්ටය මේ මාස දෙක තුන ඇතුළත රුපියල් 3,000කය සිමෙන්ති කොට්ටයක් වැඩි වෙනවා කියන්නේ.. මේකට මිල පාලනයක් අත්‍යවශ්‍යයි.”

“අපිත් ණය අරගෙන තමයි ඉදිකිරීම් කරන්නේ. හැබැයි දේශපාලනඥයින් සුදුවට ඇඳන් ඇවිත් ඒවා විවෘත කරලා යනවා. ඒ ඉදිකිරීම්වල සල්ලි ගන්න අපි සෑහෙන්න දුක් විඳින්න ඕනේ. පස්සෙන් යන්න ඕනේ.”

“අපිටත් ලීසිං වාරික, ණය වාරික තියෙනවා. මෙහෙම ගියොත් අපිටත් කියන්න වෙන්නේ අපිත් සහනයක් ලැබෙනකම් කිසිම ලීසිං එකක් ණයක් ගෙවන්නේ නෑ කියාල.” 

“අපේ වෘත්තිය නැති වෙනකොට අපේ ආදායම් මාර්ගත් නැති වෙනවා. දැන් මේ වෙනකොට රාජ්‍ය ඉදිකිරීම් පවා නතර කරලා. අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න විශාල පිරිසකගේ දරුවනුත් විදේශ රටවල අධ්‍යාපනය ලබනවා. ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 2ක් අධ්‍යාපනය සඳහා දරුවන්ට යවන්න වුණා. මේ අවුරුද්දේ ඩොලර් එක වැඩිවීම නිසා ඩොලර් බිලියන කීයක් පිටරටවලට යනවා ද? ළමයිගේ අධ්‍යාපනය නතර වෙනවා කියන්නේ ලෝන් ගෙවන්න අපිට කොහොමත් ම බැහැ. ඒ නිසා අපි ඉල්ලන්නේ මේකට සාධාරණ උත්තරයක්.”

පුවත යවන්න