හමුදාව සමන්තුරේ හොර නෝට්ටු මුද්‍රණාලය වටලයි

දීර්ඝ කාලයක සිට මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය රුපියල් 5,000 හොර නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත සමන්තුරේ, නින්දවුර් ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවේදී සොයා ගත් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කරයි.

යුද හමුදා බුද්ධි අංශය සමඟ අක්කරේපත්තුව පොලිසිය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව මෙම ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කරන තිප්පොළ වටලා ඇති අතර එහිදී සැකකරුවන් තිදෙනකු සමඟ රුපියල් හය ලක්ෂයකට අධික ව්‍යාජ 5,000 නෝට්ටු තොගයක් සොයාගෙන ඇත.

මෙම ජාවාරම්කරුවන් වසර කිහිපයකට ඉහතදීත් මෙම ව්‍යාජ නෝට්ටු මුද්‍රණ කටයුතු පවත්වාගෙන ගොස් ඇති අතර ජාවාරම්කරුවන් වටිනා මුදලින් අඩක් කොන්ත්‍රාත් ගාස්තුව ලෙස අය කරගනිමින් වංචාව සිදුකොට ඇතැයිද විමර්ශනවලදී හෙළිවී තිබේ.

පොලිස් උපාය දූතයන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 10ක වටිනා 5,000 ව්‍යාජ නෝට්ටු ඉල්ලා ඉන් කොටසක් උපක්‍රමශීලීව ලබාගනිද්දී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔලුවිල් විශ්වවිද්‍යාලය අසලට  රථයකින් පැමිණි සැකකරුවන් දෙදෙනා මෙසේ පෙරේදා (15දා) අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව සැකකරුවන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරමේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

නින්දවුර් ප්‍රදේශයේ පාළු නිවසක රහසිගතව පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ නෝට්ටු මුද්‍රණාලය වැටලූ අක්කරේපත්තුව පොලිසිය එහි තිබූ ව්‍යාජ 5,000 නෝට්ටු තොගයක්ද මුද්‍රණ යන්ත්‍ර, පරිගණක ඇතුළු උපකරණද පොලිස් භාරයට ගෙන තිබේ.

චාමර අමරසූරිය

පුවත යවන්න