හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මියන්මාරයේ මොකද වෙන්නේ ?

අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය තමභාරයට ගත් බව මියන්මාර හමුදාව අද නිවේදනය කළා.
ඒ මීට පැය කිහිපයකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීම තහවුරු කරමිනුයි.
අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළා.
පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇති අතර මියන්මාර හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට රටේ බලය පැවරීමට ක්‍රියා කරන බවයි,
මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම ඇතැම් දුරකතන සේවාවන්හි ද අවහිර කර තිබෙනවා.
නොවැම්බර් මාසයේ මැතිවරණයෙන් අවුන් සාන් සූචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලැබූ අතර හමුදාව චෝදනා කරන්නේ, පැවති මැතිවරණය වංචනික බවයි.
කෙසේ වෙතත්,අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙලෙස හමුදාව සිය භාරයට ගෙන ඇත්තේ, මැතිවරණයෙන් පසුව මියන්මාර පාර්ලිමේන්තුව අද අසුන් ගැනීමට නියමිතව තිබූ පසුබිමකදීයි. පසුගිය දිනවල හමුදා කුමන්ත්‍රණයක් පිළිබද එරට දී විවිධ සැකයන් මතු කර තිබූ අතර එරට හමුදාව පවසා තිබුණේ රටේ ව්‍යවස්ථාවට ගරු කරන බවයි.

අඩ සියවසකට අධික කාලයක් පැවති හමුදා පාලනය අවසන් වීමෙන් අනතුරුව එරට පැවති දෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණය හැඳින්වෙනවා.

2011 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට පැමිණෙන තුරු මියන්මාරය තුළ ක්‍රියාත්මක වූයේ,ද හමුදා පාලනයක්.

මියන්මාරය තුල පසුගිය සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් අවුන්සාන් සුචීට මෙන්ම එරට හමුදාවට ද චෝදනා එල්ල වුණා.
මෙවර ජිනීවා සැසිවාරයේදී එය අවධානයට ලක්වීමට නියමිතව තිබිය දී මෙම තත්ත්වය මතුවීම විශේෂත්වයක්.
මියන්මාර හමුදා කුමන්ත්‍රණ වෙනුවෙන් ප්‍රකට දේශයක් වන අතර ඒ හේතුවෙන් අවුන්සාන් සුචී අවස්ථා රැසකදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පුවත යවන්න