කිසිදු ආකාරයක තෙල් කාන්දුවක් හෝ පරිසර හානියක් නොකර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන ලෙස අදාළ සමාගමට ලිඛිතව දැනුම් දුන් බව සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පවසනවා.
නෞකාවේ අනතුරෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් අදාළ වන්දිය ගෙවීමට නැව් සමාගම එකගවී තිබෙනවා. නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් ද මේ වන විට නැවේ අලුත්ම තත්ත්වය ගැන විමසිල්ලෙන්.
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 ක දුර මුහුදේ නැංගුරම් ලා තිබූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශ වූ අතර එය මුහුදුබත් වීමේ අවදානමක් හේතුවෙන් ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යාමට ඊයේ කටයුතු ආරම්භ කළා. කෙසේවෙතත් මීටර් 500 ක් දුර නැව ඇදගෙන යාමේදී නැවේ පිටුපස කොටස ක්‍රමයෙන් මුහුදු ජලයෙන් යටවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මීටර් 22 ක් පමණ ගැඹුරින් ඇති මුහුදු පත්ලේ නැවේ පිටුපස කොටස ගැටීම නිසා එහි ඇදගෙන යාමේ කටයුතු නවතා දැමීමට සිදුවුණා.
නයිට්‍රික් අම්ලය මෙට්‍රික් ටොන් 25 ක් ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 78 ක් ඇතුලු රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් 1486 ක් මෙහි ප්‍රවාහනය කරමින් පැවතියා. එවැනි තත්ත්වයක මෙරට මුහුදු කලාපය ද දැඩි අවදානමකට ලක්වුණා. නෞකාවේ අපද්‍රව්‍ය පුත්තලම සිට ගාල්ල දක්වා වූ වෙරළේ ස්ථාන කිහිපයකට ගොඩගසා තිබුනේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් අදාළ මුහුදු ප්‍රදේශයට අද පිටත්ව ගොස් තිබුණා.
නෞකා බදෙහි කිසියම් පිපිරීමක් හෝ තෙල් කාන්දුවක් පවතින්නේ ද යන්න සොයා බැලීම මෙම කිමිදුම් කණ්ඩායමේ ප්‍රධාන අරමුණයි. කෙසේවෙතත් නෞකාවෙන් මේ දක්වා කිසිදු තෙල් කාන්දුවක් නොමැති බව වෙළෙද නාවික ලේකම් කාර්යාලය පවසනවා. නෞකාව ගලවා ගැනීමේදී කිසිදු තෙල් කාන්දුවක් හෝ පරිසර හානියක් නොවන පරිදි එම කටයුතු සිදු කරන ලෙසට අදාළ නෞකා සමාගමට ලිඛිතව දැනුම් දී ඇති බව සමෘද්ධීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය පවසනවා.
එස්ප්‍රස් පර්ල් නෞකාවේ සිටි සියලු දෙනාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා .
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්නෙන් මෙරට සමුද්‍රයට හා වෙරළ තීරයට සිදුවූ හානිය ගණනය කිරීමෙන් පසු නීතිපතිවරයා හරහා අදාළ රක්ෂණ සමාගමට හා සිංගප්පූරු නැව් සමාගමට යොමු කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙද නාවික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පවසනවා. එම වන්දි මුදල් ගෙවීමට අදාළ සමාගම බැදී සිටින බවද ඒ මහතා කියාසිටිනවා.