හිටපු බන්ධනාගාර ඇමති ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා විසින් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගොස් සිදුරකන ලද ක්‍රියාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ස්ථාවරය පැහැදිලි කර තිබේ.

අද (17) දින රැස්වූ මැතිවරණ කොමිෂන් සභාවේදී ඒ සම්බන්ධයෙන් තීරණ ගෙන තිබේ.

ඒ අනුව, එම ක්‍රියාව නීතියේ ආධිපත්‍යයට කරන ලද අභියෝගයක් මෙන්ම මහජන නියෝජිතයන් කෙරෙහි මහජන විශ්වාසය බිඳ හෙළීමට හේතුවක් වියහැකි බව එම කොමිෂන් සභාව පවසයි.

මේ පිළිබඳව සුදුසු පියවරක් ගැනීමට ක්‍රියාකරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ ඇත.

මේ අතර වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි තමා වෙතින් සිදුවූ සිද්ධීන්වලට අදාළ වගකීම් භාරගනිමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉකුත් 15 වනදා කටයුතු කළේය.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍යවරයා ඔහු දරමින් සිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත අමාත්‍යධූරයේ තවදුරටත් කටයුතු කරනු ඇත.

රාජ්‍ය අමාත්‍යවරයකු කොට කලිසමකින් සැරසී බීමත්ව වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරී ඇති බවත්, සුරූපිනියක් හා තවත් දෙදෙනකු සමඟ එලෙස එහි ගොස් ඇති බවත් ඉකුත් සඳුදා මාධ්‍ය පළමුවරට වාර්තා කළේය.

එවන් පසුබිමක එම රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 12 වනදා නැවතත් අනුරාධපුර බන්ධනාගාරයටද බීමත්ව ඇතුළු වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසීය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා එහි සිටි එල්.ටී.ටී.ඊ සැකකරුවන් රඳවා ඇති වාට්ටුව වෙත ගොස් ඉන් දෙදෙනෙකු දණගස්වා ඔවුන්ගේ හිසට ගිනිඅවියක් තබා තර්ජනය කර ඇති බවද වාර්තා විය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වී ගත් තීරණ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට නාමයෝජනා දී තිබූ ජයන්ත කැටගොඩ මහතා තෝරාපත්කර ගැනීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම ද වෙයි.

ඊට අමතරව මොනරාගල මහාධිකරණය මගින් ඡන්ද අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් දී තිබූ තීන්දුව, එම තීන්දුව අභියාචනා කාලයෙන් පසුව හෝ අභියාචනාධිකරණයේ තීන්දුවෙන් පසුව සුදුසු තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.(AD)

පුවත යවන්න