අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග අනිද්දා වරායෙන් නිදහස්

සහල්,  සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත වරායේ සිරවී ඇති බහාලුම් අනිද්දා වන විට නිදහස් කර ගැනීමට හැකි බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී මේ සදහා අවශ්‍ය කටයුතු සූදානම් කරන බවට පොරොන්දුවක් ලබා දුන් බවයි එම සංගමය සදහන් කරන්නේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයකින් තොරව ජනතාව වෙත ලබා දීම සදහා ජනාධිපතිතුමා පත්කළ කමිටුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වුණා. එළඹෙන උත්සව සමයේදී රෙදි පිළි සහ ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුවුනා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සදහා රජය කුමන ආකාරයේ බදු සහන ලබාදුන්නද එම සහන ජනතාවට නොලැබීම පිළිබද සාකච්ඡා කෙරුණා. ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ නිසිපරිදී පාරිභෝගික ජනතාවට ලබා දීමේ යාන්ත්‍රණය තවදුරටත් විනිවිද භාවයට පත් කිරීම පිළිබද අවධානය යොමු වුණා. එමෙන්ම වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාන්ඩ සහිත බහාලුම් නිදහස් කිරීම පිළිබදව ද සාකච්ඡා වූ බව අත්‍යවශ ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම බහාලුම් අනිද්දා වන විට නිදහස් කර ගැනීමට හැකිවන අතර මීට පෙර එවැනි බහාලුම් 500ක් මුදා ගැනීමට මුදල් අමාත්‍යාංශය මැදිහත් වූ බව එම සංගමය පෙන්වා දෙනවා. බහාලුම් 1500 ක් පමණ වරායේ සිරවී ඇති බවද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරුවන්ගේ සංගමය පවසනවා.

මේ අතර වෙළෙදපෙලේ තිරිගු පිටි හිගයක් පැවතීම හේතුවෙන් වතු ජනතාව අපහසුතාවට පත්ව සිටියා. ඊට විසදුම් ලබා දෙමින් වතු ජනතාව සදහා තිරිගු පිටි දෙල්‌තොට විවිධ සේවා සමූපකාර සමිතිය මගින් බෙදා දීමට පියවර ගැනුණා. තිරිගු පිටි සදහා වතුකරයේ දැඩි ඉල්ලුම් පවතිනවා.

පුවත යවන්න